ඉදිරි අභියෝගයට තනිව නොව පොදු බලවේගයක් ලෙස මුහුණ දෙනවා – රනිල්ගෙන් කෘත්‍යාධිකාරී මණ්ඩලයට විශේෂ ප්‍රකාශයක්!
එක්සත් ජාතික පක්ෂය ඉදිරි දේශපාලන අභියෝගයන්ට මුහුණ දිය යුත්තේ තනි තනිව නොව, අනෙකුත් සියලුම දේශපාලන පක්ෂ, ප්රගතිශීලී බලවේග සහ සංවිධාන සමඟ පොදුවේ එකට එකතු වී බව එක්සත් ජාතික පක්ෂ නායක, හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කරයි.
හිටපු ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ කොළඹ, මල් පාරේ පිහිටි දේශපාලන කාර්යාලයේදී පැවැති එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම අමතමිනි.
කෘත්‍යාධිකාරී මණ්ඩල සාමාජිකයින් බහුතරයකගේ සහභාගීත්වයෙන් පැවැති මෙම විශේෂ රැස්වීමේදී වර්තමාන දේශපාලන තත්ත්වය පිළිබඳව දීර්ඝ වශයෙන් සමාලෝචනය කෙරුණි. එහිදී වත්මන් දේශපාලන රැල්ලට ගැළපෙන පරිදි එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිචාරය සකස් විය යුතු ආකාරය සහ පක්ෂ සංවිධාන ජාලය දීපව්‍යාප්තව යළි ගොඩනැංවීම සඳහා වන විශේෂ වැඩපිළිවෙළක් ද සාකච්ඡාවට බඳුන් වී ඇත.
අනෙකුත් පොදු දේශපාලන බලවේග සමඟ ඉදිරි සම්බන්ධීකරණ කටයුතු සිදුකරන ආකාරය පිළිබඳව ද මෙහිදී සාමාජිකයින් දැනුවත් කිරීමට පියවර ගෙන තිබේ.
පක්ෂයේ විනය නීති රීතීවලට පටහැනිව ක්‍රියා කළ පළාත් පාලන ආයතන නියෝජිතයින් සම්බන්ධයෙන් පක්ෂය ගෙන ඇති දැඩි තීරණ සහ ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව එජාප මහලේකම් තලතා අතුකෝරළ මහත්මිය විසින් මෙහිදී කෘත්‍යාධිකාරී මණ්ඩලය හමුවේ කරුණු පැහැදිලි කරනු ලැබුවාය.
පක්ෂ සභාපති වජිර අබේවර්ධන මහතා කියා සිටියේ, පක්ෂය යළි සංවිධානය කිරීම සහ අනෙකුත් පොදු ප්රගතිශීලී බලවේග ඒකාබද්ධ කරගැනීම සම්බන්ධයෙන් කෘත්‍යාධිකාරී මණ්ඩලයේදී ඉතා වැදගත් තීන්දු තීරණ රැසකට එළැඹීමට හැකි වූ බවයි.
දේශපාලන ක්ෂේත්රයේ දැඩි අවධානයක් දිනාගත් මෙම කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමට සහභාගී වූ හිටපු ජනාධිපතිවරයා ඇතුළු සියලුම සාමාජිකයින් මුහුණු ආවරණ (Masks) පැළඳ සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරමින් ඊට සහභාගී වීම විශේෂත්වයක් විය.

