“ඇමතිට වඩා දූෂිත නිලධාරීන් ඉන්නවා; හොරුන්ට ජනතාව රැවටෙන්නේ නෑ” – ඇමති බිමල් රත්නායක

රටේ ආර්ථිකය විනාශ කළ සැබෑ ආර්ථික ඝාතකයින් අද වන විට සුදුවතින් සැරසී මාධ්‍ය ඉස්සරහා බබාලා මෙන් කතා කළද, එවැනි පල් හොරුන්ට ජනතාව නැවත නොරැවටෙන බව ප්‍රවාහන අමාත්‍ය බිමල් රත්නායක මහතා පවසයි. පොල් ගසක් යට රැස්වීමක් පවත්වා හෙට ආණ්ඩුව අල්ලන බව කීවද, රාජපක්ෂවරුන් යනු රටේ සැබෑ ආර්ථික ඝාතකයන් බව ජනතාව දන්නා බව අමාත්‍යවරයා අවධාරණය කළේය.

මෝටර් රථ ප්‍රවාහන අංශයේ පවතින දූෂණ පිළිබඳව අදහස් දක්වමින් අමාත්‍යවරයා කියා සිටියේ සමහර නිලධාරීන් ඇමතිවරුන්ටත් වඩා දූෂිත බවයි. දූෂිත නිලධාරීන් පිරිසක් විසින් සිරකරගෙන සිටි රියදුරු බලපත්‍ර 150,000 ක් නිදහස් කිරීමට දක්ෂ නිලධාරීන් දිවා රෑ නොබලා කටයුතු කළ බවත්, ඉදිරියේදී වෛද්‍ය සහතික ඔන්ලයින් ක්‍රමයට ලබාදීමට හා දුම්රිය වාර ප්‍රවේශ පත්‍ර වෙබ් අඩවියෙන් පහසුවෙන් ලබාගැනීමට කටයුතු සකසන බවත් ඔහු පැවසීය.

එසේම, වසරකට මාර්ග අනතුරුවලින් පුද්ගලයන් 2,750 ක් මිය යන බැවින් නව මාර්ග නීති පොතක් සකස් කරන බවත්, ධාවනයට නුසුදුසු බස් රථ නියාමනය කරමින් මාස තුනකට වරක් පරීක්ෂාවට ලක් කරන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

වසර 2 හමාරයි රටම අනාථයි; ආණ්ඩුව කරන්නේ අමුලික පච ගැසීම විතරයි” – නාමල් රාජපක්ෂ

වත්මන් රජය බලයට පත්වී වසර දෙක හමාරයි ගතවී ඇතත් රටේ පවතින ආර්ථික කුණාටුව පාලනය කරගැනීමට නොහැකිව රජය සම්පූර්ණයෙන්ම අසාර්ථක වී ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා චෝදනා කරයි. බාල ගල් අඟුරු ගෙනා සැබෑ ආර්ථික ඝාතකයින් අද ආණ්ඩුවේ සිටිමින් අනුන්ට චෝදනා කරන බව මන්ත්‍රීවරයා පැවසීය.

වත්මන් පාලනය යටතේ ජනතාව මත අධික බදු බරක් පටවා ඇති අතර, රටේ දරිද්‍රතාවය සියයට 30 දක්වා ඉහළ ගොස් ඇතැයි ද, ව්‍යවසායකයා, ගොවියා සහ ධීවරයා සම්පූර්ණයෙන්ම අසරණ වී ඇති බවද ඔහු පෙන්වා දුන්නේය. උපාධිධාරීන්ට රැකියා නොමැති අතර, තවමත් 35,000 ක පිරිසක් අනාථ නිවාසවල දුක් විඳින බවත්, රජය මේවාට විසඳුම් නොදී හිස් කයිවාරු සහ අමුලික පච ගසමින් සිටින බවත් ඔහු කීය.

තවද, ත්‍රස්ත විමර්ශන පනත අවභාවිත කරමින් උතුරේ වැරදීමකින් ගීතයක් ගැයූ අය පවා සිරගත කරන රජය, රණවිරුවන්ට එරෙහිව බොරු ප්‍රකාශ සිදුකරන බවත්, තමන් කිසිදු පරීක්ෂණයකට බිය නොමැතිව සැමවිටම රණවිරුවන් වෙනුවෙන් පෙනී සිටින බවත් නාමල් රාජපක්ෂ මහතා වැඩිදුරටත් අවධාරණය කළේය.

Share.
Leave A Reply