බේරුවල: දේශීය බෝට්ටු නිෂ්පාදන කර්මාන්තයේ පවතින තාක්ෂණික හා ප්‍රවාහන බාධක ඉවත් කරමින්, බේරුවල ධීවර වරාය පරිශ්‍රයේ රුපියල් මිලියන 76ක ආයෝජනයකින් ඉදිකරන ලද නව “බෝට්ටු දියත් මග නිල වශයෙන් විවෘත කෙරිණි. කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති සහ ධීවර, ජලජ හා සාගර සම්පත් නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් මෙම සමාරම්භක උත්සවය පැවැත්විණි.

වාර්ෂිකව ඇමරිකානු ඩොලර් මිලියන 53කට අධික අපනයන ආදායමක් උපයන දේශීය බෝට්ටු කර්මාන්තයේ පිරිවැය අවම කිරීම මෙම ව්‍යාපෘතියේ මූලික අරමුණයි. මීට පෙර විශාල යාත්‍රා නිෂ්පාදනය කර මාර්ග හරහා ප්‍රවාහනය කිරීමේදී විදුලි රැහැන්වලට හානි වීම ඇතුළු දැවැන්ත ගැටලුවලට කර්මාන්තකරුවන් මුහුණ දුන් අතර, මෙම නව පහසුකම හරහා නිෂ්පාදන කටයුතු හා දියත් කිරීම් සෘජුවම වරාය පරිශ්‍රයේදීම සිදු කිරීමට අවස්ථාව සැලසේ.

මෙහිදී අදහස් දැක්වූ අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා අවධාරණය කළේ, වත්මන් රජයේ ඉලක්කය වන්නේ 2030 වන විට මෙරට අපනයන ආර්ථිකය ඩොලර් බිලියන 36ක් දක්වා ඔසවා තැබීම බවත්, මෙම ව්‍යාපෘතිය විදේශ විනිමය ගලා එන නව ආර්ථික මාවතක් වන බවත්ය.

අමාත්‍යාංශ ඒකාබද්ධව රට ගොඩනගන නව දේශපාලන සංස්කෘතියක් බිහිකර ඇති බව පෙන්වා දුන් නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ මහතා, දැනට පවතින ඩොලර් මිලියන 300ක ධීවර අපනයන ආදායම ඉදිරි වසර හතර තුළ ඩොලර් මිලියන 600 දක්වා දෙගුණ කිරීමට සැලසුම් කර ඇති බව පැවසීය. එමෙන්ම ඉදිරියේදී ‘ස්ටීල් හල්’ (Steel Hull) තාක්ෂණය ඔස්සේ නවීන යාත්‍රා නිෂ්පාදනයට කර්මාන්තකරුවන් යොමු කිරීමේ වැදගත්කම ද ඔහු පෙන්වා දුන්නේය.

Share.
Leave A Reply