PTA පනත වහාම අහෝසි කරනු; සුරේෂ් සලේ දඩයම් කිරීම නවතනු – ‘දිනන දකුණ සාමූහිකය’ රජයට බල කරයි
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) වහාම අහෝසි කරන ලෙසත්, එම මර්දනකාරී නීතිය උපයෝගී කරගනිමින් හිටපු හමුදා නිලධාරී මේජර් ජනරාල් සුරේෂ් සලේ දේශපාලන දඩයමකට ලක් කිරීම වහාම නතර කරන ලෙසත් ‘දිනන දකුණ සාමූහිකය’ වත්මන් රජයෙන් ඉල්ලා සිටියි.
නිවේදනයක් නිකුත් කරමින් එම සංවිධානය පෙන්වා දෙන්නේ, පාස්කු ප්‍රහාරයේ මහමොළකරු සුරේෂ් සලේ බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) හරහා බලහත්කාරී පාපොච්ඡාරණයක් ලබා ගැනීමට රජය උත්සාහ දරන බවයි.
එදා PTA පනත අහෝසි කරන බවට පොරොන්දු වී බලයට පත් ජනතා විමුක්ති පෙරමුණ (JVP) ප්‍රමුඛ වත්මන් රජය, අද එම මර්දනකාරී නීතියම දේශපාලන පළිගැනීම් සඳහා භාවිත කිරීම බරපතළ දේශපාලන කුහකත්වයක් බව එම සංවිධානය අවධාරණය කරයි. GSP+ සහනය පවා අහිමි කරමින් රටේ ආර්ථිකයට හා මානව හිමිකම්වලට තර්ජනයක් වූ මෙම ම්ලේච්ඡ පනත වෙනුවට වෙනත් මර්දනකාරී නීති ආදේශ නොකර, 21 වන සියවසට ගැලපෙන නීතියේ ආධිපත්‍යය රට තුළ ස්ථාපිත කිරීමට වහාම පියවර ගත යුතු බව ‘දිනන දකුණ සාමූහිකය’ වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියි.

