මෙරට අධ්‍යාපන ක්ෂේත්රය ඩිජිටල්කරණය කිරීමේ සුවිශේෂී පියවරක් තබමින්, ජාතික අධ්‍යාපන කළමනාකරණ තොරතුරු පද්ධතියේ මානව සම්පත් මොඩියුලය (NEMIS HRM) සහ ‘ඊ-තක්සලාව’ ඉගෙනුම් කළමනාකරණ පද්ධතියේ (LMS) නියමු ව්‍යාපෘතිය අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ මැතිණියගේ ප්‍රධානත්වයෙන් නිල වශයෙන් දියත් කෙරිණි.
මෙහිදී අදහස් දැක්වූ අග්‍රාමාත්‍යතුමිය, සෑම දරුවකුටම ගුණාත්මක අධ්‍යාපනයක් සමානව ලැබෙන ප්රජාතන්ත්රවාදී පරිසරයක් රට තුළ බිහිකිරීම රජයේ වගකීමක් බවත්, රාජ්‍ය සේවයේ විනිවිදභාවය හා කාර්යක්ෂමතාව සඳහා ඩිජිටල්කරණය අත්‍යවශ්‍ය මෙවලමක් බවත් අවධාරණය කළාය.
උත්සවය ඇමතූ ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය ඉංජිනේරු එරංග වීරරත්න මහතා ප්‍රකාශ කළේ, 2030 වසර වන විට ඇමෙරිකානු ඩොලර් බිලියන 15ක ඩිජිටල් ආර්ථිකයක් ගොඩනැගීමේ ජාතික අභිලාෂය කරා රජය කැපවී සිටින බවයි. ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ (ICT) නිලධාරීන්ගේ සුවිශේෂී දායකත්වයෙන් නිමවුණු මෙම පද්ධති දියත් කිරීමේ අවස්ථාවට අමාත්‍යාංශ ලේකම්වරුන් ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් රැසක් එක්ව සිටියහ.

