දිවයින පුරා ඩෙංගු වසංගත තත්ත්වය ශීඝ්‍රයෙන් හිස ඔසවමින් පවතින පසුබිමක, එය මර්දනය කිරීම සඳහා සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය සංවිධානය කළ තෙදින විශේෂ ඩෙංගු මදුරු මර්දන ජාතික වැඩසටහන අද (08) පෙරවරුවේ කොළඹ මහනගර සභා පරිශ්‍රයෙන් නිල වශයෙන් ආරම්භ කෙරිණි.

ලබන 10 වනදා දක්වා ක්‍රියාත්මක මෙම දැවැන්ත ජාතික මෙහෙයුම දිස්ත්‍රික්ක 14 ක් සහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි (MOH) කොට්ඨාස 72 ක් කේන්ද්‍ර කරගනිමින් දියත් වේ.

වසරකට රෝගීන් 10,000 ක භයානක වර්ධනයක්!

ජාතික ඩෙංගු මර්ධන ඒකකයේ වැඩබලන අධ්‍යක්ෂ වෛද්‍ය කපිල කන්නන්ගර මහතා හෙළි කළ පරිදි, 2025 වසරට සාපේක්ෂව මේ වසරේ සලකා බලන කාලය තුළ ඩෙංගු රෝගීන්ගේ 10,000 ක බියකරු වර්ධනයක් පෙන්නුම් කරයි. 2026 ජනවාරි මාසයේ සිට මේ දක්වා ගත වූ මාස කිහිපය තුළ පමණක් දිවයින පුරා වාර්තා වී ඇති සමස්ත ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 37,000 ක් දක්වා ඉහළ ගොස් ඇත.

රටේ ඩෙංගු රෝගීන්ගෙන් අඩක්ම බස්නාහිරින්

ලබාදී ඇති දත්ත අනුව මෙවර ඩෙංගු ව්‍යාප්තියේ වැඩිම බලපෑම එල්ල වී ඇත්තේ බස්නාහිර පළාතටයි. සමස්ත රෝගීන්ගෙන් 50% ක්ම වාර්තා වන්නේ බස්නාහිර පළාතෙන් වීම විශේෂත්වයකි.

දිස්ත්‍රික් මට්ටමින් ව්‍යාප්තියේ ප්‍රතිශතයන් පහත පරිදි වේ:

කොළඹ දිස්ත්‍රික්කය: 22%

ගම්පහ දිස්ත්‍රික්කය: 17%

කළුතර දිස්ත්‍රික්කය: 6%

කොළඹ නගර සභා සීමාව: 5.1% (රෝගීන් 2,000 කට ආසන්නයි)

මීට අමතරව දකුණු පළාතේ ගාල්ල, සබරගමුව පළාතේ රත්නපුර සහ මධ්‍යම පළාතේ මහනුවර යන දිස්ත්‍රික්ක ද අධි අවදානම් කලාප ලෙස හඳුනාගෙන තිබේ.

පාසල් සහ රාජ්‍ය ආයතන මදුරු තොටිලි වෙලා!

කීට සමීක්ෂණ වාර්තා උපුටා දක්වමින් වෛද්‍ය කන්නන්ගර මහතා පෙන්වා දුන්නේ වැඩිපුරම මදුරුවන් බෝවන ස්ථාන ලෙස හඳුනාගෙන ඇත්තේ ජනතාව බහුලව ගැවසෙන පාසල්, රාජ්‍ය ආයතන සහ ආගමික සිද්ධස්ථාන භූමි බවයි. දෛනිකව ලක්ෂ සංඛ්‍යාත බාහිර පිරිසක් පැමිණෙන කොළඹ නගර සභා සීමාව තුළ පමණක් පාසල් 150 ක් ඇතුළු රාජ්‍ය ආයතන සහ ඉදිකිරීම් වැඩබිම් කෙරෙහි මෙහිදී විශේෂ අවධානයක් යොමු කෙරේ.

රතු නිවේදන සහ ධූමායන කටයුතු

සමාරම්භක අවස්ථාවට එක්වූ කොළඹ නගරාධිපතිනි ව්‍රායි කැලී බල්තසාර් මහත්මිය අවධාරණය කළේ ඩෙංගු උවදුර පාලනය කිරීමට නම් මහජනතාවගේ දායකත්වය අත්‍යාවශ්‍ය බවයි.

“මෙය ජාතික මට්ටමේ අර්බුදයක්. ත්‍රිවිධ හමුදාව, පොලීසිය සහ සෞඛ්‍ය අංශ උපරිම දායකත්වය ලබා දෙනවා. නමුත් ජනතාව තම අවට පරිසරය පිරිසිදුව තබා නොගතහොත් මෙම සටන ජයගත නොහැකියි.”

— කොළඹ නගරාධිපතිනි ව්‍රායි කැලී බල්තසාර්

මෙම තෙදින තුළ මදුරුවන් බෝවන ලෙස පරිශ්‍ර පවත්වාගෙන යන පුද්ගලයින්ට එරෙහිව තදින්ම නීතිය ක්‍රියාත්මක කිරීමට සහ රතු නිවේදන නිකුත් කිරීමට බලධාරීන් පියවර ගෙන ඇත. එමෙන්ම අධි අවදානම් කලාප තුළ කඩිනමින් ධූමායන (Fogging) කටයුතු ද සිදු කෙරේ.

දෛනික ප්‍රගති සමාලෝචනයක් මාධ්‍යයට

මෙම විශේෂ මෙහෙයුමේ සාර්ථකත්වය සහ දෛනික ප්‍රගතිය පිළිබඳව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ආපදා කළමණාකරණ ඒකකයේ දී සෑම දිනකම රාත්‍රියේ විශේෂ සමාලෝචනයක් සිදු කෙරෙන අතර, එහි වාර්තා දෛනිකව මාධ්‍ය වෙත නිකුත් කිරීමට ද කටයුතු යොදා ඇත.

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්, කීට විද්‍යා නිලධාරීන් සහ ප්‍රජා වෛද්‍ය විශේෂඥයින් ඇතුළු විශාල පිරිසක් දැනටමත් මේ සඳහා ක්ෂේත්‍රයට බැස කටයුතු කරමින් සිටිති.

Share.
Leave A Reply