වත්මන් රජයට පැහැදිලි ආර්ථික දැක්මක් සහ ප්‍රායෝගික දැනුමක් නොමැති වීම හේතුවෙන් ඩොලරයේ අගය යළිත් රුපියල් 339.50 දක්වා සීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇතැයි සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා පවසයි. සමගි ජන බලවේග ප්‍රධාන කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් (IMF) ඩොලර් මිලියන 695 ක ප්‍රතිපාදන ලැබුණද රුපියල ශක්තිමත් කිරීමට රජය අපොහොසත් වී ඇති බවත්, වෙළඳපොළ කෙරෙහි ඇති විශ්වාසය බිඳවැටීම නිසා අපනයනකරුවන් සහ විදේශ ශ්‍රමිකයන් ඩොලර් ලංකාවට එවීම ප්‍රමාද කරමින් සිටින බවත් මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේය.

එසේම, ජනාධිපතිවරයාගේ “ගජමිතුරන්” වෙනුවෙන් ඩොලර් මිලියන 200 කට වඩා වැය කරමින් වාහන 1,700 ක් ගෙන්වීමට ණයවර ලිපි (LC) ලබා දී ඇති බවට චෝදනා කළ රහුමාන් මහතා, භාණ්ඩාගාරය පිරි ඉතිරී පවතින බව පැවසුවද බදු බරින් මිරිකෙන සාමාන්‍ය ජනතාවට සහන දීමට රජය කටයුතු නොකරන බවද පැවසීය. වත්මන් පාලනයද බැසිල් රාජපක්ෂ මහතාගේ ක්ෂණික හා අදූරදර්ශී ආර්ථික තීන්දු අනුගමනය කරමින් සිටින බවත්, “සුරංගනා කතා” පසෙක ලා වහාම ආර්ථිකය කළමනාකරණය කිරීමට රජය පියවර ගත යුතු බවත් මන්ත්‍රීවරයා වැඩිදුරටත් අවධාරණය කළේය.

Share.
Leave A Reply