පොදු ප්‍රවාහන සේවයේ මගී ජනතාවගේ ජීවිත ආරක්ෂාව තහවුරු කිරීම වෙනුවෙන් බස් රථ රියදුරන් සහ කොන්දොස්තරවරුන් ඉලක්ක කරගනිමින් ක්‍රියාත්මක කෙරෙන විශේෂ අන්තරායකර මත්ද්‍රව්‍ය පරීක්ෂණ සහ වැටලීම් මාලාව අඛණ්ඩව ඉදිරියටම ක්‍රියාත්මක කරන බව ප්‍රවාහන, මහාමාර්ග හා නාගරික සංවර්ධන අමාත්‍යාංශය පවසයි.

මේ යටතේ ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ ජංගම පරීක්ෂණාගාර බස් රථය යොදාගනිමින් නුගේගොඩ බස් නැවතුම්පොළේදී අද (26) සිදුකළ අහඹු වැටලීමකදී රියදුරන් සහ සහායකයින් 172 දෙනෙකු පරීක්ෂාවට ලක් කෙරුණු අතර, ඉන් පස් දෙනෙකු (05) මත්ද්‍රව්‍ය භාවිත කර ඇති බවට තහවුරු වී තිබේ.

බස්නාහිර පළාත් මාර්ගස්ථ මඟී ප්‍රවාහන අධිකාරිය අවධාරණය කරන්නේ මෙම මත්ද්‍රව්‍ය පරීක්ෂණ වෛද්‍ය වාර්තාව සන්තකයේ නොමැති කිසිදු රියදුරෙකුට හෝ කොන්දොස්තරවරයෙකුට ඉදිරියේදී ධාවන ගමන්වාර (Route turns) ලබා නොදීමට පියවර ගන්නා බවයි.

පොලිසිය සහ ප්‍රවාහන බලධාරීන් එක්ව පසුගිය මාස 5 පුරා නොමිලේ සිදුකරන මෙම විශේෂ පරීක්ෂණ වැඩසටහන ඉදිරියේදී දිවයින පුරාම ක්‍රියාත්මක කිරීමට නියමිතය. මෙහි මූලික අරමුණ ඇබ්බැහි වූවන් හඳුනාගෙන පුනරුත්ථාපනය කිරීම වුවද, නීතිය උල්ලංඝනය කරන පිරිස්වලට එරෙහිව ආයතනික නීතිය මෙන්ම රටේ පොදු අපරාධ නීතිය යටතේ උපරිම දඬුවම් දීමට කටයුතු සූදානම් කර ඇති බව මාධ්‍ය ඒකකය නිවේදනය කරයි.

Share.
Leave A Reply