යාපනය, චෙම්මනි සිත්තුපාත්තු ප්‍රදේශයේ පවතින සමූහ මිනීවළේ හයවන අදියරේ කැණීම් කටයුතු සිදුකෙරෙන අතර, හයවන දින අවසානය වන විට එතැනින් හමුවූ මිනිස් සිරුරු සංඛ්‍යාව 245 දක්වා ඉහළ ගොස් ඇති බව වාර්තා වේ.
අතුරුදන්වූවන්ගේ ඥාතීන් වෙනුවෙන් පෙනී සිටින නීතිඥ වී.කේ. නිරංජන් මහතා සඳහන් කළේ ය.හත්වන දින කැණීම්වලදී තවත් වැදගත් සාක්ෂි රැසක් මතුකර ගැනීමට හැකිවූ බවයි.
පසුගිය අප්‍රේල් 27 වැනිදා යාපනය මහෙස්ත්‍රාත් එස්. ලෙනින්කුමාර් මහතාගේ සෘජු අධීක්ෂණය යටතේ ආරම්භ වූ මෙම හයවන අදියරේ කැණීම් කටයුතු, නවීන ස්කෑන් පරීක්ෂණ වාර්තා (Scanning Reports) පදනම් කරගනිමින් සිදුකෙරේ.
මීට පෙර අවසන් වූ පස්වන අදියරේදී සිරුරු 240කට අදාළ අස්ථි කොටස් හඳුනාගෙන තිබුණි. ඉන් සිරුරු 239ක කොටස් සම්පූර්ණයෙන්ම ගොඩගැනීමට නිලධාරීන් කටයුතු කර තිබුණි.
මෙම සමූහ මිනීවළෙන් ගොඩගනු ලබන සියලුම අස්ථි කොටස් සහ මියගිය පුද්ගලයන් සතු වූයේ යැයි සැක කෙරෙන භාණ්ඩ, යාපනය මහෙස්ත්‍රාත් අධිකරණ නියෝග මත විශේෂ ආරක්ෂාවක් යටතේ රඳවා ඇත. ඒ අනුව, යාපනය විශ්වවිද්‍යාලයේ අධිකරණ වෛද්‍ය විද්‍යා පීඨයේ විශේෂඥ වෛද්‍ය සෙල්ලයියා පිරනවන් මහතාගේ භාරයේ එම සාක්ෂි ඉදිරි විමර්ශන සඳහා තබා ඇති බව කැණීම් නිලධාරීහු වැඩිදුරටත් පැවසූහ.
මෙම කැණීම් ක්‍රියාවලිය දෙස අතුරුදන්වූවන්ගේ ඥාතීන් සහ ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධාන දැඩි අවධානයකින් පසුවන අතර, ඉදිරි දිනවලදී තවදුරටත් කැණීම් කටයුතු ව්‍යාප්ත කිරීමට නියමිතය.

