වසර 2026 දී සංවර්ධිත අය වැයක් සමඟින් 2027 දී අධි සංවර්ධත රටක් ලෙස රට පෙරට ගමන් කරවීමට ආණ්ඩුව සැලසුම් කර තිබේ. මේ අනුව 2026 අයවැය කථාවේ දත්ත සාරාංශය අනුව ලංකාව ගමන් කර ඇත්තේ සංවර්ධන දිසාවකට බව ආණ්ඩුව පවසයි.

රටේ ආර්ථික තත්ත්වය හා රාජ්‍ය මූල්‍යය යටතේ, 2025 වසරේ මුල් භාගයේ ආර්ථික වර්ධනය සියයට 4.8 ක් ලෙස වාර්තා කරයි. දළ නිල සංචිතය ඇ.ඩො. බිලියන 6 ඉක්මවූ බවත් සඳහන් වේ.

2025 දී රාජ්‍ය ආදායම දළ දේශීය නිෂ්පාදිතයෙන්  සියයට 16 කට ආසන්න මට්ටමකට ගෙන ඒමත්, ප්‍රාථමික අතිරික්තය දිවවය 2.3  ඉලක්කය ඉක්මවීමත් අපේක්ෂා කෙරිණි.

මධ්‍යම රජයේ ණය අනුපාතය 2022 දී  සියයට 114.2 සිට 2026 දී  සියයට 96.8 දක්වාත්, 2030 දී  සියයට 87  පමණ දක්වාත් අඩු කිරීම ඉලක්ක කර ඇති බව සටහනේ සදහන් කර තිබේ.

2025 අවසන් වන විට අර්බුදයට පෙර තිබූ ආර්ථික මට්ටමට ළඟාවීම අයවැය කථාවේ අපේක්ෂාවක් ලෙස දක්වා තිබිණි.

ප්‍රධාන වියදම් හා යෝජනා අතරේ ගත් කළ ඩිජිටල් පරිවර්තනයට 2026 දී රු. බිලියන 25.5කට වැඩි රාජ්‍ය ආයෝජනයක් යෝජනා කරයි. කෘත්‍රිම බුද්ධිය, ක්ලවුඩ් සේවා සහ දත්ත මධ්‍යස්ථාන සඳහා රු. බිලියන 3ක් වෙන් කිරීමත්, ඩිජිටල් හැඳුනුම්පතේ පළමු නිකුතුව 2026 තුන්වන කාර්තුවේදී කිරීමට සැලසුම් කිරීමත් ඇතුළත්ව තිබිණි.

කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සඳහා සහන ණය ඇතුළු ණය පහසුකම් රු. බිලියන 80ක් සැලසුම් තිබිණි. එම ව්‍යාපාර දළ දේශීය නිෂ්පාදිතයෙන්  සියයට 52 කට වැඩි දායකත්වයක් දක්වන බව ලේඛනයේ සඳහන් වේ.

2030 වන විට සංචාරක ඉපැයීම් ඇ.ඩො. බිලියන 8ක් සහ සංචාරක පැමිණීම් මිලියන 4ක් දක්වා ඉහළ නැංවීම ඉලක්ක කරන බවද දත්ත සටහන කියයි.

පානීය ජල ව්‍යාපෘති සඳහා රු. බිලියන 85.7ක්, පොදු ප්‍රවාහනය සඳහා රු. බිලියන 67.2ක්, මාර්ග සංවර්ධනය සඳහා රු. බිලියන 342ක් වෙන් කිරීම සඳහන් වේ.

සමාජ ආරක්ෂණය සහ රාජ්‍ය සේවා ආණ්ඩුවේ ගමන් මාර්ගය වුයේ අස්වැසුම ප්‍රතිලාභීන් නැවත සමාලෝචනය කිරීම, වැඩිහිටි හා වකුගඩු රෝගී දීමනා වැඩි කිරීම, ශිෂ්‍යත්ව හා පාසල් උපකරණ ආධාර ලබාදීම යෝජනා අතර වේ. රාජ්‍ය සේවක වැටුප් අදියර තුනකින් ඉහළ නැංවීම සහ රාජ්‍ය සේවා ඩිජිටල්කරණය කිරීමද සඳහන් කර තිබිණි.

Share.
Leave A Reply