වත්කම් සොයාගත් ආකාරය ගැන විමර්ශනයක්මුදල් විශුද්ධිකරණ පනත යටතේ පරීක්ෂණ ඉල්ලා අල්ලස් දූෂණ නාස්තියට එරෙහි පුරවැසි බලය කළ පැමිණිල්ලකට අනුව පියවර දෙසැම්බර් 30 වනදා ප්රකාශ ලබාදීමට කොමිෂන් සභාවට පැමිණෙන ලෙස දැනුම් දෙයි!
වත්මන් ආණ්ඩුවේ ප්රබල අමාත්යවරුන් සහ නියෝජ්ය අමාත්යවරුන් වන බිමල් රත්නායක, වසන්ත සමරසිංහ, සුනිල් හඳුන්නෙත්ති, නලින්ද ජයතිස්ස, සුනිල් වටගල සහ ප්රභාසිරි කුමාර ජයකොඩි යන මහත්වරුන් ඇතුළු 06 දෙනෙකුගේ වත්කම් සොයාගත් ආකාරය පිළිබඳව 2023 අංක 9 දරන දූෂණ විරෝධී පනත යටතේ පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව නිල වශයෙන් දැනුම් දී තිබේ.
‘අල්ලස් දූෂණ නාස්තියට එරෙහි පුරවැසි බලය’ සංවිධානයේ සභාපති ජාමුත්ති කමන්ත තුෂාර මහතා විසින් 2025 සැප්තැම්බර් 16 වන දින කරන ලද පැමිණිල්ලකට අදාළව මෙම විමර්ශනය ආරම්භ කර ඇත.
අදාළ අමාත්යවරුන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් සන්තකයේ ඇති දේපළ හා වත්කම් මුදල් විශුද්ධිකරණ පනතට අනුව පරීක්ෂාවට ලක් කරන ලෙසත්, එම දේපළ අයථා ලෙස උපයාගෙන ඇත්නම් නීතිය ක්රියාත්මක කරන ලෙසත් එකී පැමිණිල්ල මගින් ඉල්ලා තිබිණි.
මේ පිළිබඳව වැඩිදුරටත් කරුණු පැහැදිලි කරගනිමින් සවිස්තර ප්රකාශයක් සටහන් කර ගැනීම සඳහා 2025 දෙසැම්බර් 30 වන දින පෙ.ව. 09.00 ට අංක 36, මලලසේකර මාවත, කොළඹ 07 හි පිහිටි කොමිෂන් සභා කාර්යාලය වෙත පැමිණෙන ලෙස 2023 අංක 9 දරන දූෂණ විරෝධී පනතේ 49 (1) (ආ) (ඇ) වගන්ති ප්රකාරව කොමිෂන් සභාව විසින් පැමිණිලිකාර පාර්ශ්වයට දැනුම් දී ඇත.
පැමිණිල්ලට අදාළ සියලු ලිපි ලේඛන සහ ජාතික හැඳුනුම්පත ද සමඟින් පැමිණෙන ලෙස අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වැඩිදුරටත් සඳහන් කරයි.

