රට තුළ අලෙවි වන සුවඳ විලවුන් සහ රූපලාවන්‍ය ආලේපන නියාමනය කිරීම සඳහා නව පනතක් ඉදිරිපත් කිරීමට නීතිමය ප්‍රතිපාදන සකස් කරමින් පවතින බව ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස පවසයි.

පවතින නීති රාමුව තුළ දේශීය හා විදේශීය ආලේපන නිසි ලෙස නියාමනය නොවීම හේතුවෙන් සෞඛ්‍යයට හානිකර රසදිය (Mercury) අධික ලෙස අඩංගු නිෂ්පාදන වෙළඳපොළට එකතු වන බව අනාවරී වී ඇති බව ද ඔහු කීය.

විශේෂයෙන්ම අන්තර්ජාලය සහ සමාජ මාධ්‍ය හරහා අලෙවි වන ප්‍රමිතියෙන් තොර විලවුන් හේතුවෙන් වකුගඩු රෝග සහ ස්නායු පද්ධතිය ආශ්‍රිත ගැටලු මතුවී ඇති බවත් හෙතෙම කීය.

මේ නිසා ඉදිරි මාස තුන ඇතුළත නව පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර කඩිනමින් ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කරන බව ද ඔහු කීය.

මෙම නව පනත ක්‍රියාත්මක කිරීමත් සමඟ පාරිභෝගිකයන්ගේ සෞඛ්‍ය ආරක්ෂාව තහවුරු වන අතර නීති විරෝධී සහ ප්‍රමිතියෙන් තොර රූපලාවන්‍ය නිෂ්පාදන වෙළඳපොළින් මැඩපැවැත්වීමට හැකි වනු ඇති බව ද ඔහු සඳහන් කළේය.

Share.
Leave A Reply