වන අලි සංහාරය පිටුපස සංවිධානාත්මක ජාලයක් ඇති බවට සැකයි – පරිසර අමාත්‍යාංශයෙන් CID යට සහ පොලිස්පතිට පැමිණිල්ලක්

සමස්ත ලාංකේය ජනතාවගේම ආදරයට හා ගෞරවයට පාත්‍ර වූ ‘කාවන්තිස්ස’ නමැති ගජරාජයාගේ හදිසි මරණය පිටුපස මහා පරිමාණ සැලසුම් සහගත කුමන්ත්‍රණයක් පවතින්නේද යන්න පිළිබඳව වහාම පුළුල් හා විධිමත් පරීක්ෂණයක් ආරම්භ කරන ලෙස පරිසර අමාත්‍යාංශය විසින් පොලිස්පතිවරයා ඇතුළු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) වෙත නිල වශයෙන් පැමිණිලි කර ඇත.

කාවන්තිස්ස ඇතාගේ දේහය හමුවීමත් සමඟ සමස්ත සමාජය තුළම දැඩි සංවේගයක් සහ ආන්දෝලනාත්මක කතිකාවතක් නිර්මාණය වී තිබේ. මෑත කාලයේදී වන අලින්ට වෙඩි තැබීම ඇතුළු විවිධ නීතිවිරෝධී උපක්‍රම යොදාගනිමින් සිදුවන වනසතුන් ඝාතනය කිරීම් ඉහළ ගොස් ඇති අතර, මෙය මෙරට ජෛව විවිධත්වයට මෙන්ම වනජීවී සංරක්ෂණයට එල්ල වූ දැවැන්ත තර්ජනයක් බව පරිසර අමාත්‍යාංශය පෙන්වා දෙයි.

සංවිධානාත්මක ජාලයක් හෙළි කරගැනීමේ මෙහෙයුම්

පරිසර අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් ලිඛිතව යොමු කරන ලද අදාළ ඉල්ලීම මඟින් අවධාරණය කර ඇත්තේ, මෙම ඝාතනය පිටුපස කිසියම් ජාවාරම්කාර සංවිධානාත්මක ජාලයක් ක්‍රියාත්මක වන්නේද යන්න ක්ෂණික විමර්ශනයක් මඟින් තහවුරු කරගත යුතු බවයි. අදාළ අපරාධයට සම්බන්ධ සියලු වගකිවයුත්තන් තරාතිරම නොබලා වහාම අත්අඩංගුවට ගෙන තදින්ම නීතිය ක්‍රියාත්මක කරන ලෙසද අමාත්‍යාංශය අවධාරණය කරයි.

සිදුවීමේ ඇති බරපතලකම සලකා බලා මෙම විමර්ශන ඉතා කඩිනමින් අවසන් කර, එහි ප්‍රගතිය පිළිබඳව අමාත්‍යාංශය නිරන්තරයෙන් දැනුවත් කරන ලෙස ඉල්ලා ඇත.

ත්‍රිවිධ හමුදාව සහ පොලිසිය එක්ව ඒකාබද්ධ මෙහෙයුම්

මේ වන විටත් වන අලින් ඇතුළු වනසතුන්ට සිදුවන හිරිහැර සහ ඝාතන වැළැක්වීම සඳහා වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ මූලිකත්වයෙන් ත්‍රිවිධ හමුදාව, පොලිස් විශේෂ කාර්ය බලකාය (STF) සහ පොලිසිය එක්ව දිවයින පුරා විශේෂ ඒකාබද්ධ මෙහෙයුම්, වැටලීම් සහ නීතිමය ක්‍රියාමාර්ග ගනිමින් සිටින බවද වැඩිදුරටත් වාර්තා වේ.

Share.
Leave A Reply