මුළු රටම අනතුරේ හෙළන ප්‍රදර්ශනාත්මක වැඩක්
ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයෙන් සැර ප්‍රකාශයක්
පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් ආරණ්‍යයක වැඩ සිටියදී අත්අඩංගුවට ගෙන නැවත සිරගත කිරීම සහ උන්වහන්සේට සාමාන්‍ය සිරකරු ඇඳුම (ජම්පරය) ඇන්දවීමට කටයුතු කිරීම පිටුපස බරපතල අශෝභන හා ප්‍රදර්ශනාත්මක හැසිරීමක් පවතින බවට ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය චෝදනා කරයි.
මෙවැනි ක්‍රියාමාර්ග හරහා සමස්ත රටම දැඩි අනතුරුදායක තත්ත්වයකට තල්ලු වෙමින් පවතින බව ඒ මහත්වරු පෙන්වා දෙති.
ජනාධිපති සමාව අධිකරණය මගින් අහෝසි කිරීමත් සමග නැවත සිරගත කෙරුණු ඥානසාර හිමියන්ට සිරගෙදරදී ‘ජම්පරය’ ඇඳීමට සිදුවන බවට බන්ධනාගාරය විසින් මාධ්‍ය හරහා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීම දැඩි කතාබහට ලක්ව ඇත.
සාමාන්‍යයෙන් යම් පුද්ගලයකු සිරගත වන විට මෙවැනි ප්‍රකාශ නිකුත් නොවන පසුබිමක, උන්වහන්සේ ලැජ්ජාවට පත්කිරීමේ අරමුණින් මෙවැනි ප්‍රකාශ සිදුකළේදැයි කොමියුනිස්ට් පක්ෂය ප්‍රශ්න කර සිටියි.
සිරගත කිරීමෙන් පසු උන්වහන්සේ දෙවතාවක්ම සාමාන්‍ය සිරකරු ඇඳුමෙන් අධිකරණය වෙත ගෙන ඒම හේතුවෙන් මෙරට බහුතරයක් ජනතාව දැඩි කම්පනයට පත්වූ බවත්, ජනතාවගේ ආගමික හා සංවේදී හැඟීම් පිළිබඳව බලධාරීන් කිසිදු තැකීමක් සිදුකර නොමැති බවත් එම පක්ෂය නිකුත් කළ නිවේදනයක සඳහන් වේ.
1942 ඉංග්‍රීසි අධිරාජ්‍යවාදී සමයේදී සිරදඬුවම් ලැබූ කොමියුනිස්ට් පක්ෂයේ ආරම්භක සභාපති පූජ්‍ය උඩකැන්දවල සරණංකර හිමියන් සිය සිවුර ඉවත් කිරීමට ඉංග්‍රීසි නිලධාරීන් දුන් අණට අභියෝග කරමින් දඬුවම් කාලය පුරාම සිවුර දරා සිටි අතීත සිදුවීම ද මෙහිදී මතක් කරදෙන කොමියුනිස්ට් පක්ෂය, වත්මන් බලධාරීන් මුල සිටම කටයුතු කර ඇත්තේ ප්‍රදර්ශනාත්මක අයුරින් බව අවධාරණය කරයි.
“ජාතිවාදයට හිස එසවීමට ඉඩ තබන්නේ නැතැයි කියමින් හුදු ප්රචාරාත්මක ප්‍රලාප දෙසාබෑමෙන් ඔබ්බට ගොස්, රට තුළ වාර්ගික හා ආගමික සමගියට හානි වන මෙවැනි ක්‍රියාවලින් වහාම වැළකී සිටින්න” යැයි ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම් වෛද්‍ය ජී. වීරසිංහ මහතා රජයෙන් ඉල්ලා සිටියි.

