මාලිමා ආණ්ඩුවට එරෙහිව නඩු දෙකක්

වසර 2300ක හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා. ඇයි අපි එහෙම කියන්නේ? ඒ තමයි ලංකා ඉතිහාසයේ භික්ෂුන් වහන්සේ කෙනෙක්ගේ සිවුර බලහත්කාරයෙන් ගලවලා, ගිහි වෙස් ගන්වලා ප්‍රදර්ශනය කරපු දවස බවට පත්වීමයි. ශාසනික සම්ප්‍රදාය ගැන මෙලෝ හසරක අවබෝධයක් නොතිබුණු සුදු අධිරාජ්‍යවාදීන් පවා කවම කවරදාවත් සිවුරට අත තියන්න උත්සාහ කළේ නෑ. නමුත් නිරාගමික, ගෝත්‍රික, මාලිමා ආණ්ඩුව ඊයේ ඒ දේ කළා. වසර පහකට වැරදිලා බලය ලැබුණු ජනාධිපති අනුරට කිසිම අයිතියක් නෑ වසර 2300ක ශාසනික ඉතිහාසය වෙනස් කරන්න කටයුතු කරන්න.

මාලිමා ආණ්ඩුව ඥානසාර හාමුදුරුවන්ගේ සිවුර උදුරා ගත්තත් උන්වහන්සේගේ භික්ෂුත්වය, උන්වහන්සේට තිබෙන ගෞරවය උදුරා ගන්න අසමත් වෙලා තිබෙනවා. අද ඥානසාර හාමුදුරුවෝ අධිකරණයට වැඩම කළාම පක්ෂ භේදයෙන් තොරව සියලුම නීතීඥයින් ගිහිල්ලා උන්වහන්සේට වැන්දා. ඒ වගේම තරුණ භික්ෂුන් වහන්සේලා උන්වහන්සේට වැන්දා. එයින් පෙන්නුවා තොපි අපේ හාමුදුරුවන්ගේ සිවුර උදුරා ගත්තත් උන්වහන්සේගේ භික්ෂුත්වයවත්, උන්වහන්සේට අපේ හිත්වල තියෙන ගෞරවයවත් උදුරා ගන්න මාලිමාවට බෑයි කියන පණිවිඩයයි අද අධිකරණ භූමියේදී රටට ලබා දුන්නේ.

ඒ වගේම මේ ආණ්ඩුව බලයට පත්වුණු දවසේ ඉඳන්ම බෞද්ධයාට රිද්දුවා. ඒකේ උච්චස්ථානය තමයි ඊයේ දවසේ භික්ෂුන් වහන්සේ කෙනෙක්ව ගිහි වෙස් ගන්වලා රටපුරා ප්‍රසිද්ධ කිරීමට, ප්‍රදර්ශනය කිරීමට මාලිමා ආණ්ඩුව කටයුතු කිරීම. එදා දොන් ජුවන් ධර්මපාල රජතුමා පෘතුගාලයේ රජතුමාගෙන් රූකඩයක් වුණු අයුරින්ම අද අනුර දිසානායක ජනාධිපතිවරයා ජෙරම්, මැල්කම්, දෙබෑයන්ගේ රූකඩයක් බවට පත්වෙලා බෞද්ධයන් රිදවීමේ මහා කුමන්ත්‍රණයක් දියත් කරලා තියෙන බව මේ වනවිට සාක්ෂි සහිතව ඔප්පු වෙලා හමාරයි.

මාලිමා ආණ්ඩුව ඥානසාර ස්වාමීන් වහන්සේව ගිහි ඇඳුමෙන් රටට ප්‍රදර්ශනය කිරීම, උසාවියට ගෙන ඒම නීති විරෝධී, ශාසනික විරෝධී, ව්‍යවස්ථා විරෝධී කියන එක අපි ඉතාම වගකීමෙන් ප්‍රකාශ කරනවා. ඥානසාර හිමියන් උසාවියට ගෙන එන විට ගිහි ඇඳුමෙන් ගෙන ඒම නීති විරෝධී වන්නේ ඇයි? බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ දෙපාර්තමේන්තු නිත්‍ය නියෝග 550 මම කියවන්නම්. “උසාවියට ඉදිරිපත් කළ යුතු වරදකරු කරනු ලැබූ සිරකරුවන් බන්ධනාගාර ඇඳුමින්ම උසාවියට ඉදිරිපත් නොකළ යුතුය. ඒ වෙනුවට වරදකරුවන් කරනු ලැබීමට පෙර ඔවුන් ඇඳීමට පුරුදු වී සිටි ඇඳුමට ගැලපෙන සිවිල් ඇඳුමක් ඇඳීමට ඔවුන්ට ඉඩ දිය යුතුය.”

වරදකරු කිරීමට පෙර ඥානසාර හිමියන් අඳින්න පුරුදු වූ ඇඳුම තමයි කහ සිවුර. මාලිමා ආණ්ඩුව බලයට පත්වන තෙක්ම සිරගතව ඉඳලා ඥානසාර හාමුදුරුවෝ වරින් වර උසාවියට ගෙනාවත් කවදාවත් කිසිම ආණ්ඩුවක් කහ සිවුරට අත තිබ්බේ නැත්තේ ඒක රටේ නීතියේ කොටසක් වන නිසා. ඇත්තෙන්ම මාලිමා ආණ්ඩුව පමණක් ඥානසාර හාමුදුරුවන්ගේ සිවුරු ගලවලා ගිහි වෙස් ගන්වලා අධිකරණයට ඉදිරිපත් කළේ වෙන මොකටවත් නෙවෙයි, තමන්ගේ බෞද්ධ විරෝධය ප්‍රදර්ශනය කරලා තමන්ට සල්ලි දෙන බලවේග සතුටු කරන්නයි කියන එක අපි සාධාරණ නිගමනයකට එළඹිලා තියෙනවා.

ඇත්තෙන්ම මේක මේ හදිසියේ කඩාපාත් වුණු, නිලධාරීන් නොදන්නා නීතියක් නෙවෙයි. 1894 අප්‍රේල් මාසේ 18 වෙනිදා එවකට යටත් විජිත ලේකම් නොයෙල් වෝකර් ගැසට් මගින් ප්‍රසිද්ධ කළ ලංකා ඉතිහාසයේ පළවෙනි බන්ධනාගාර රීති වලත්, බන්ධනාගාර නිත්‍ය නියෝග වලත් 223 වන වගන්තිය විදිහට මේක සඳහන් වෙනවා. ඒ 223 වෙනි වගන්තියේ කියන්නේ, “සිරදඬුවම් විඳින සිරකරුවන් උසාවියට ගෙන එන විට ඔවුන්ගේ සාමාන්‍ය ඇඳුමින් සැරසී සිටීමට අවස්ථාව දිය යුතුය.” 1947 දී තීන්දු වුණු රජු එදිරිව ස්ටීවන් කියන නඩුවේදී ඩයස් විනිසුරුතුමා සිරකරුවන්ව බන්ධනාගාර ඇඳුමෙන් අධිකරණයට ගෙනාවම එය 223 වගන්තියේ උල්ලංඝනයක් වෙනවාය කියලා එසේ නොකළ යුතු බවට නඩු තීන්දුවක් ලබා දීලා තියෙනවා. මේක නව නීති වාර්තා නැත්නම් NLR වලත් ඇතුළත් කර තිබෙන නඩු තීන්දුවක්.

වසර සීයයකට අධික කාලයක් පුරාවට බන්ධනාගාර නිලධාරීන් දැන සිටි නිත්‍ය නියෝගයක් ලෙසත්, උසාවි නියෝගයක් ලෙසත් බන්ධනාගාර නිලධාරීන් අනුගමනය කරමින් සිටි ඒ නීතිමය ක්‍රමවේදය උල්ලංඝනය කරලා ඥානසාර හිමිට සුදු ඇඳුම් අන්දන්න, සිවුර ගලවන්න බලපෑම් කරපු ජගතා කවුද කියන එක දැන් හොයාගැනීම ජාතියේ ලොකුම වගකීම බවට පත්වෙනවා. ඒ නිසා ආණ්ඩුවේ මාධ්‍ය ප්‍රකාශක නලින්ද ජයතිස්ස ඇමතිතුමා ඊළඟ මාධ්‍ය හමුවේදී ඥානසාර හාමුදුරුවන්ගේ සිවුර නීති විරෝධීව ගලවපු, බන්ධනාගාර නිත්‍ය නියෝග උල්ලංඝනය කරමින් ඥානසාර හාමුදුරුවන්ගේ සිවුර බලහත්කාරයෙන් ගලවපු ජගතා කවුද කියන එක රටට පැහැදිලි කරයි කියලා සමස්ත ජාතියම ඇස් දල්වාගෙන බලාගෙන ඉන්නවා.

අපේ රජවරු හිස නැමුවා එකම තැන රහත් ධජය නැත්නම් කහ සිවුර විතරමයි. රජවරු වැඳවැටුණු කහ සිවුර ගලවන්න ජාතියක් ජන්මයක් නැති ගෝත්‍රික මාලිමා ආණ්ඩුවට ඉඩ දෙන්න බෑ. මාලිමාවට ඡන්දය දුන්නු අයගෙන් අපි අහනවා ඔබ පැතූ ලස්සන රට මේකද?

ඊළඟට අපි බලමු මේ පහත් ක්‍රියාව, මේ තිරස්චීන ක්‍රියාව ශාසනික විරෝධී වන්නේ කොහොමද? පාරාජිකා පාලියේ සඳහන් වන ආකාරයට භික්ෂුන් වහන්සේ නමක්ගේ භික්ෂුත්වය අහිමි වන්නේ කාරණා හතරකින් එකක් හෝ සිදුවුනොත් පමණයි. මොනවද ඒ කාරණා හතර? ලිංගික සේවනයේ යෙදීම, සොරකම් කිරීම, මිනීමැරීම, තමන්ට නැති ධ්‍යාන සෘද්ධි බලයන් තමන්ට තිබෙන බවට පවසා ජනතාව රැවටීම. එතකොට මෙන්න මේ වරදවල් හතරෙන් එකක් හෝ කළ අයෙක් කළ බවට උසාවියේ ඔප්පු වුනහම භික්ෂුත්වය එනයින්ම නැත්නම් ඉප්සෝ ෆැක්ටෝ (Ipso facto) අහෝසි වෙනවා. එතකොට ඒ අයට ගිහි ඇඳුම් ඇන්දවීම කවුරුවත් ප්‍රශ්න කරන්නේ නෑ. ඒ නිසා තමයි ස්ත්‍රී දූෂණයක්, ලිංගික අතවරයක්, සොරකමක්, මිනීමැරීමක් සම්බන්ධයෙන් චෝදනාවන්ට වැරදිකරු වුණු භික්ෂූන් ජම්පරේ නැත්නම් සිරකරු ඇඳුම ඇන්දවීම ගැන කවුරුවත් කවදාවත් ප්‍රශ්න කරලා නැත්තේ. ඥානසාර හාමුදුරුවෝ සතර පාරාජිකාවන්ගෙන් එක පාරාජිකාවකටවත් වැරදිකරු වෙලා නෑ. එහෙමනම් ඥානසාර හාමුදුරුවන්ගේ සිවුර ගැලවීම ශාසනික නීතියේ උල්ලංඝනය කිරීමක්. නලින්ද ජයතිස්ස ඇමතිතුමා කියන ආකාරයට භික්ෂුන් වහන්සේලා හැටතුන් නමක් හිරේ නෑ, පට්ටපල් බොරු. ඒ අය සොරකමක් හෝ ලිංගික අතවරයක් හෝ මිනීමැරුමක් හෝ කළ බවට අධිකරණයේ තීන්දු වෙනකොටම සිවුරක් දරා සිටියත් ඉබේම භික්ෂුත්වය අහෝසි වෙනවා. ඒකයි බුද්ධ නීතිය. එහෙමයි විනය පිටකයේ තියෙන්නේ. එහෙමනම් ඒ අයට සිර ඇඳුම් ඇන්දවීම කවුරුවත් ප්‍රශ්න කරන්නේ නෑ, මේ දක්වා කවදාකවත් විරෝධයක් ආවේ නැත්තේ ඒකයි.

හැබැයි පාරාජිකා නොවුණු භික්ෂුන් වහන්සේ නමක්ගේ සිවුර ගලවනවද නැද්ද කියලා මේ ගෝත්‍රික, නිරාගමික මාලිමා ආණ්ඩුවට තීරණය කරන්න බෑ. ඒක තීරණය කිරීමේ එකම බලය තියෙන්නේ උන්වහන්සේ අයත් වන සංඝ සභාවට පමණමයි. ඉංග්‍රීසි අධිරාජ්‍යවාදී සමයේ ඉඳන්ම භික්ෂුන් වහන්සේලාට සිවුරෙන් සිරදඬුවම් විඳීමට අවස්ථාව ලබා දීලා තියෙනවා. බන්ධනාගාර නිත්‍ය නියෝග 226 වැනි වගන්තියෙන් කියන්නේ, “සුළු වැඩ සහිත සිරදඬුවම් විඳින භික්ෂුන් වහන්සේලාට සිවුර දරාගෙන සිටිමින්ම සිරදඬුවම් විඳිය හැකි බවයි.” නමුත් ඒක පාරාජිකා නොවුණු භික්ෂුවක් ලෙස නිවැරදි විය යුතුයි. නැතිනම් ඒක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නව වැනි වගන්තියෙන් කියන බුද්ධාගම සුරක්ෂිත කොට පෝෂණය කිරීම පිළිබඳ නව වැනි වගන්තිය උල්ලංඝනය කිරීමක් වෙනවා. අන්න ඒ නිසා තමයි මේ දක්වා නිත්‍ය නියෝගවල මොනවා තිබුණත් පාරාජිකා නොවුණු භික්ෂුන් වහන්සේ නමක්ගේ සිවුරට අත තියන්න කිසිම ආණ්ඩුවක් කටයුතු නොකළේ. ඒ නිසා මේ මාලිමා ආණ්ඩුව ඥානසාර හාමුදුරුවන්ගේ සිවුර ගැලවීම සෘජුවම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ උතුම්ම වගන්තියක් ලෙස හඳුන්වා තිබෙන නව වන වගන්තිය උල්ලංඝනය කිරීමක්. ජනමත විචාරණයකින් තොරව වෙනස් කළ නොහැකි බවට සඳහන් වන නව වන වගන්තිය උල්ලංඝනය කිරීමක්.

මාලිමා ආණ්ඩුව මේ සිදු කළ නීති විරෝධී, ව්‍යවස්ථා විරෝධී, ශාසනික විරෝධී ක්‍රියාවට එරෙහිව අපි නඩු දෙකක් පැවරීමට බලාපොරොත්තු වෙනවා. පළමු නඩුවෙන් අපි ඉල්ලන්නේ බන්ධනාගාර නිත්‍ය නියෝග උල්ලංඝනය කරමින් ඥානසාර ස්වාමීන් වහන්සේ ගිහි ඇඳුමෙන් අධිකරණයට ගෙන ඒමේ තීන්දුව අහෝසි කරන රිට් නියෝගයක් ලබාදෙන ලෙසයි. දෙවෙනි නියෝගයෙන් අපි ඉල්ලන්නේ පාරාජිකා නොවුණු භික්ෂුන් වහන්සේලාට සිවුර දරමින් සිරදඬුවම් විඳීමට බන්ධනාගාර නිත්‍ය නියෝග වලින් බාධාවක් තිබෙනවා නම් එවැනි නියෝග ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නව වෙනි වගන්තිය උල්ලංඝනය කරන එකක් බැවින් එය අහෝසි කිරීමේ ආඥාවක් නිකුත් කරන ලෙසයි. මේ නඩු දෙකම ඉදිරි සති දෙක ඇතුළත පැවරීමට අපි බලාපොරොත්තු වෙනවා. මේ වනවිට ඥානසාර ස්වාමීන් වහන්සේ සමගත්, ඒ වගේම උන්වහන්සේ අයත් වන කෝට්ටේ සංඝ සභාවේ ලේඛකාධිකාරී ස්වාමීන් වහන්සේ වන මහාචාර්ය කොටපිටියේ රාහුල ස්වාමීන් වහන්සේ සමගත් මේ පිළිබඳව අපි සාකච්ඡා කරලයි තියෙන්නේ. ඒ නිසා ඉදිරියේදී මේ අධිකරණ කටයුතු ආරම්භ කරලා මාලිමා ආණ්ඩුවේ බෞද්ධ විරෝධිත්වය හෙළිදරව් කරන්න අපි කටයුතු කරනවා.

Share.
Leave A Reply