“Aquatic Research for Climate Resilience, Food Security, and Blue Growth” යන තේමාව යටතේ පැවති සැසිවාරයට දේශීය හා විදේශීය විද්වතුන්, පර්යේෂකයන්, විශ්වවිද්‍යාල නියෝජිතයන් සහ ජලජ සම්පත් ක්ෂේත්‍රයට සම්බන්ධ පාර්ශ්ව රැසක් එක් වූහ. NARA විද්‍යාඥයන් සිදු කළ පර්යේෂණවල ප්‍රතිඵල සහ නව විද්‍යාත්මක සොයාගැනීම් ද මෙහිදී ඉදිරිපත් කෙරිණි.

ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් මහතා සහ අමාත්‍යාංශ ලේකම් කෝලිත කමල් ජිනදාස මහතා මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිතයන් ලෙස සහභාගී වූහ.

ජපානයේ Overseas Fishery Cooperation Foundation ආයතනයේ ධීවර විශේෂඥ ආචාර්ය Fujino Tadanori මහතා ප්‍රධාන දේශනය පැවැත්වීය.

NARA සභාපති මහාචාර්ය සනත් හෙට්ටිආරච්චි මහතා, අධ්‍යක්ෂ ජනරාල්වරයා ඇතුළු විද්‍යාඥයන් සහ පර්යේෂකයන් රැසක් ද සැසිවාරයට සහභාගී වූහ. විශිෂ්ට විද්‍යාත්මක පර්යේෂණ ඇගයීමට ලක් කරමින් සම්මාන ප්‍රදානය කිරීම ද වැඩසටහනේදී සිදු කෙරිණි.

ධීවර කර්මාන්තය, ජලජ වගාව, පසු අස්වනු තාක්ෂණය, ජලජ ජීව තාක්ෂණය හා ජලජ සත්ත්ව සෞඛ්‍යය, ජලජ පරිසරය හා දේශගුණික විපර්යාස, සාගර විද්‍යාව, ජල ශාස්ත්‍ර විද්‍යාව හා භූගෝලීය තොරතුරු පද්ධති (GIS), ධීවර සමාජ–ආර්ථික විද්‍යාව සහ අලෙවිකරණය ඇතුළු ප්‍රධාන ක්ෂේත්‍ර රැසකට අදාළ පර්යේෂණ පත්‍රිකා මෙහිදී ඉදිරිපත් කෙරිණි.

ශ්‍රී ලංකාවේ ජලජ සම්පත් ක්ෂේත්‍රයේ තිරසර සංවර්ධනය සඳහා අවශ්‍ය විද්‍යාත්මක දැනුම, නව පර්යේෂණ ප්‍රවේශ සහ ප්‍රායෝගික විසඳුම් හුවමාරු කරගැනීමට මෙම සැසිවාරය වැදගත් වේදිකාවක් නිර්මාණය කළේය. දේශීය පර්යේෂකයන්ට ජාත්‍යන්තර විද්‍යාඥයන් සමඟ දැනුම හා අත්දැකීම් හුවමාරු කරගැනීමට සහ නව පර්යේෂණ සහයෝගිතා ගොඩනඟාගැනීමට ද එමඟින් අවස්ථාව සැලසිණි.

දේශගුණික විපර්යාසවලට ඔරොත්තු දීමේ හැකියාව ශක්තිමත් කිරීම, ජාතික ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීම සහ නීල ආර්ථික වර්ධනය සඳහා විද්‍යාත්මක පර්යේෂණ යොදාගැනීමේ වැදගත්කම ද මෙහිදී අවධාරණය කෙරිණි.

Share.
Leave A Reply