බිලියන 1.32ක සැකසහිත ගෙවීමක් ගැන සාක්ෂි තියෙද්දී විමර්ශන නතර කරයි!

මෛත්‍රීපාල ඇතුළු ප්‍රබලයින් 6කට කළ පැමිණිල්ල විවෘත නොකරම වසා දමයි!

වත්මන් රජයත් අදාළ මුදල් ගෙවලා – පුරවැසි බලයෙන් බරපතල චෝදනා!

මහවැලි ජල සුරක්‍‍ෂිතතා ආයෝජන වැඩසටහනේ (MWSIP) ප්‍රධාන ඇල මාර්ගය ඉදිකිරීමේ දී සිදු වූවා යැයි කියන රුපියල් බිලියන 16.69ක මහා පරිමාණ අක්‍රමිකතාව සම්බන්ධයෙන් කෙරුණු පැමිණිල්ල අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් කිසිදු විමර්ශනයකින් තොරවම වසා දමා ඇතැයි ‘අල්ලස දූෂණය නාස්තියට එරෙහි පුරවැසි බලය’ සංවිධානය හෙළි කරයි.

එම සංවිධානයේ සභාපති ජාමුණි කමන්ත තුෂාර සඳහන් කරන්නේ, රුපියල් බිලියන 7.22කට ලබාදුන් ව්‍යාපෘති පිරිවැය, රුපියල් බිලියන 15.15 දක්වා දෙගුණයකින් වැඩි කරමින් කොන්ත්‍රාත්කරුට වාසි සහගත ලෙස රුපියල් බිලියන 1.32ක (මිලියන 1320) සැක සහිත ගෙවීමක් සිදුකිරීමෙන් රජයට සිදු වූ විශාල පාඩුව පිළිබඳව අදාළ සංවිධානය විසින් ඉකුත් ජූනි 09 වන දින PRE/3569/2026 දරන පැමිණිල්ල ඉදිරිපත් කළ බවයි.

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, අමාත්‍යවරුන් වන රෝහණ දිසානායක, කේ.ඩී. ලාල්කාන්ත සහ අමාත්‍යාංශ ලේකම්වරුන් වන අනුර දිසානායක, යූ.ඩී. ජයලාල්, සී.පී. වික්‍රමසිංහ යන ප්‍රබලයින් හයදෙනාට එරෙහිව යොමුකළ මෙම පැමිණිල්ල සම්බන්ධයෙන් ගොනුවක්වත් විවෘත නොකර අවසන් කිරීමට කොමිෂන් සභාව තීරණය කළ බව එහි සහකාර අධ්‍යක්ෂ කේ.ඒ. තමරා රූපිකා මහත්මිය ලිඛිතව දැනුම් දී ඇත.

වත්මන් ආණ්ඩුවද මෙම සැකසහිත මුදල ගෙවා ඇති බවත්, මහා පරිමාණ දූෂණයක් අතපතගා තිබියදී එය පරීක්ෂණ නොකර හංගන්නේ මන්දැයි ප්‍රශ්න කරන බවත් එම සංවිධානයේ සභාපති ජාමුණි කමන්ත තුෂාර වැඩිදුරටත් සඳහන් කළේය.

Share.
Leave A Reply