ශ්‍රී ලංකාවට ආවේණික මෙන්ම සුවිශේෂී ස්ථානීය ආවේණිකත්වයක් සහිත නව කූඩලු (Impatiens) ශාක විශේෂයක් සබරගමුව පළාතේ, කෑගල්ල දිස්ත්‍රික්කයේ, කිතුල්ගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සීමාවට අයත් මන්නකැති ඇල්ල පරිසර පද්ධතියෙන් සොයා ගැනීමට පර්යේෂකයන් පිරිසක් සමත්ව තිබේ.

වෘත්තියෙන් නීතිඥවරියක් සහ කොළඹ විශ්වවිද්‍යාලයේ පාරිසරික නීතිය පිළිබඳ පශ්චාත් උපාධි අපේක්ෂිකාවක් වන සලනි ගුණරත්න මෙනවිය විසින් කිතුල්ගල, මන්නකැති ඇල්ල ආශ්‍රිතව සිදුකල සංචාරයකදී ලබා ගත් ඡායාරූප කිහිපයක් සිය සමාජ මාධ්‍ය ගිණුමට එක් කිරීමේ ප්‍රථිඵලයක් නිසා ශ්‍රී ලංකාවට ආවේණික මෙන්ම සුවිශේෂී ස්ථානීය ආවේණිකත්වයක් සහිත මෙම නව ශාක විශේෂය විද්‍යාත්මකව ලොවට හඳුන්වා දීමට අවස්ථාව උදා වී ඇත.

සලනි ගුණරත්න මෙනවිය විසින් කිතුල්ගල, මන්නකැති ඇල්ල ආශ්‍රිතව සිදුකල සංචාරයකදී ලබා ගත් ඡායාරූප කිහිපයක් සිය සමාජ මාධ්‍ය ගිණුමට එක් කර ඇති අතර එලෙස එක්කර තිබූ ඡායාරූප අතර මෙම නව ශාක විශේෂයේ ඡායාරූප කිහිපයක් තිබී ඇත.

එම ඡායාරූප කිහිපය ශාක විශේෂ පිළිබඳ අධ්‍යයනයෙහි නිරත වෘත්තීය තාක්ෂණ විශ්වවිද්‍යාලයේ උපාධිධාරියෙකු සහ පරිසර ගවේෂකයෙකු වන පේශල පසන් කරුණාරත්න මහතාගේ නෙත ගැටී ඇත. ඔහුගේ නෙත ගැටී ඇති මෙම ඡායාරූප වල දිස්වූ ශාක විශේෂය රූප විද්‍යාත්මකව Impatiens janthina ශාක විශේෂයට සමාන නමුත් මල් වල පැහැදිලි වෙනස්කම් ඇති බව ඔහු විසින් වටහා ගෙන ඇත.

පසුව ඒ පිළිබඳව නිවැරදිව තහවුරු කර ගැනීම සඳහා ශ්‍රී ලංකාවේ Impatiens ශාක ගණයට අයත් ශාක විශේෂ පිළිබඳ පර්යේෂණ සිදු කරණ පර්යේෂකයෙකු සහ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ උද්භිද විද්‍යාව පිළිබඳ ආචාර්ය උපාධි අපේක්ෂකයෙකු වන භාතිය ගොපල්ලව මහතා වෙත ඉදිරිපත් කර ඇත. එහිදී ඔහු විසින්ද සලනි ගුණරත්න මෙනවිය සිය සමාජ මාධ්‍ය ගිණුමට එක් කර තිබූ ඡායාරූප වල ඇති ශාකයේ වෙනස්කම් හඳුනාගෙන ඇති අතර පසුව ශාක විශේෂය පැවති ස්ථානයට ගොස් එම ශාක විශේෂය පරීක්ෂා කර මෙතෙක් විද්‍යාත්මකව ලොවට හඳුන්වා දී නොමැති නව ශාක විශේෂයක් බවට තහවුරු කර ගැනීමට සමත් වී ඇත‍.

පොදුවේ මෙම ශාක විශේෂ අයත් ශාක ගණය හැඳින්වීම සඳහා කූඩලු (Impatiens) යන නාමය භාවිතා කරනු ලබන අතර මෙලෙස සොයා ගත් නව ශාක විශේෂය සිංහල භාෂාවෙන් හැඳින්වීම සඳහා “කිතුල්ගල කූඩලු” සහ ඉංග්‍රීසි භාෂාවෙන් හැඳින්වීම සඳහා “Kithulgala Balsam” යන පොදු නම් පර්යේෂකයන් විසින් යෝජනා කර ඇත.

පර්යේෂකයන් විසින් Impatiens yakandawalarum යන විද්‍යාත්මක නාමයෙන් නාමකරණය කර ඇති මෙම ශාක විශේෂයේ විද්‍යාත්මක වර්ගීකරණය සැලකීමේ දී ශාක රාජධානියේ Ericales පෙළපතට අයත් Balsaminaceae පවුලේ Impatiens ගණයට අයත් ශාක විශේෂයක් වේ.

ශ්‍රී ලංකාවට ආවේණික මෙන්ම සුවිශේෂී ස්ථානීය ආවේණිකත්වයක් සහිත මෙම ශාක විශේෂය නාමකරණය කිරීමේදී, මෙරට උද්භිද විද්‍යා පර්යේෂණ කටයුතු සඳහා විශාල මෙහෙවරක් සිදුකරමින් සිටින ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ උද්භිද විද්‍යා ක්ෂේත්‍රයේ විද්වතුන් දෙපළක් වන වයඹ විශ්වවිද්‍යාලයේ කෘෂිකර්ම හා වැවිලි කළමනාකරණ පීඨයේ මහාචාර්ය කපිල යකන්දාවල මහතා සහ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ විද්‍යා පීඨයේ උද්භිද විද්‍යා දෙපාර්තමේන්තුවේ මහාචාර්ය දීප්ති යකන්දාවල මහත්මිය වෙත ගෞරව දැක්වීමක් ලෙස, I. yakandawalarum යන විද්‍යාත්මක නාමය මෙම ශාක විශේෂයට ලබාදීමට පර්යේෂණ කණ්ඩායම කටයුතු කර ඇත.

බහුලව තෙත් කලාපීය පරිසර පද්ධති තුල දක්නට ලැබෙන මෙම කූඩලු (Impatiens) ශාක විශේෂ 1,200 කට අධික සංඛ්‍යාවක් ලෝකයේ විවිධ රටවල් තුලින් වාර්තා වී ඇති අතර ඉන් විශේෂ 27ක් ශ්‍රී ලංකාව තුලින්  වාර්තා වී ඇත. මෙහි විශේෂත්වය වන්නේ මෙම විශේෂ 27න් 18ක්ම මෙරටට ආවේණික වීමය. මෙම නව සොයාගැනීමත් සමඟම ශ්‍රී ලංකාව තුලින් වාර්තා වන දේශීය කූඩලු (Impatiens) ශාක විශේෂ සංඛ්‍යාව 28ක් දක්වා ඉහල යන අතර ආවේණික විශේෂ සංඛ්‍යාව 19ක් දක්වා ඉහල යනු ඇත.

මෙම Impatiens yakandawalarum ශාක විශේෂය බොහෝ සෙයින් Impatiens janthina ශාක විශේෂයට රූප විද්‍යාත්මකව සමාන කමක් දක්වන අතර එහි මල් Impatiens thwaitesii ශාක විශේෂයේ මල් වලට රූප විද්‍යාත්මකව සමානතාවයක් දක්වනු ලබයි. Impatiens ගණයේ බොහොමයක් ශාක විශේෂ වල හටගන්නා මල් වල Calcarate (නාලිකාකාර උල් ව්‍යුහයක්) වැනි Nectary (ශාකයක මල් තුළ පැණි නිපදවන හෝ ස්‍රාවය කරන විශේෂිත ව්‍යුහයක්) පවතින නමුත් මෙම නව ශාක විශේෂයේ Ecalcarate (නාලිකාකාර උල් ව්‍යුහයක් නැති) Nectary එකකින් සමන්විත වේ. එම ලක්ෂණය මෙම ශාක විශේෂය අනෙක් Impatiens ශාක විශේෂ වලින් වෙන් කර ගැනීමට හැකි ප්‍රධානම ලක්ෂණය වේ. තවද මෙම ශාක විශේෂයේ අලයක් වැනි විකරණය වූ කඳකින්ද සමන්විත වේ. දියසෙවල සහිත දැඩි බෑවුම් ගල් තලාවන්හි තෙත මතුපිට ඇති තුනී පස් තට්ටුවල සහ දියසෙවල සහිත ගස් වල මුල් වල පවා හොඳින් වැඩෙන මෙම ශාක විශේෂය එක යායට වැවී ඇති අතර එක් ශාකයක් සෙන්ටිමීටර 20 -35ක පමණ විශාලත්වයකින් යුක්ත වේ. පත්‍රය නටුව සමඟ සෙන්ටිමීටර 05ක පමණ වේ. මලක් සෙන්ටිමීටර 02ක පමණ විශාලත්වයක් ඇති අතර පැහැය අලංකාර තද රෝස පැහැයකින් යුක්ත වේ. මලෙහි Sepal (මල් පොහොට්ටුව ආරක්ෂා කරන මලෙහි බාහිර කොළයේ) ඇතුල් පැත්තෙ තද දම් පැහැති තිත් රේඛාවකින් සමන්විත වේ.

මෙම ශාකය නව ශාක විශේෂයක් බව තහවුරුකර ගැනීමෙන් පසු විද්‍යාත්මකව ලොවට හඳුන්වා දීම සඳහා භාතිය ගොපල්ලව (පේරාදෙණිය විශ්වවිද්‍යාලය), පේශල පසන් කරුණාරත්න (වෘත්තීය තාක්ෂණ විශ්වවිද්‍යාලය), චතුර ජයතිස්ස (පේරාදෙණිය විශ්වවිද්‍යාලය),  සලනි ගුණරත්න (කොළඹ විශ්වවිද්‍යාලය), සඳලි හපුආරච්චි (පේරාදෙණිය විශ්වවිද්‍යාලය) යන පර්යේෂක කණ්ඩායම විසින් මෙම ශාක විශේෂය පිළිබඳව ස්වභාවික පරිසරයේ නිදර්ශක සහ ශාකාගාර නිදර්ශක ඇසුරෙන් දත්ත රැස් කොට පර්යේෂණ කටයුතු සිදු කර එම පර්යේෂණය පිළිබඳව පර්යේෂණ පත්‍රිකාවක් සකස් කර ප්‍රකාශයට පත් කිරීම සඳහා යොමුකර ඇත. එම පර්යේෂණ පත්‍රිකාව 2026 සැප්තැම්බර් මස 30 වැනි දින, ජාත්‍යන්තර මට්ටමේ විද්‍යාත්මක පර්යේෂණ පත්‍රිකා ප්‍රකාශයට පත් කරන Ceylon Journal of Science විද්‍යාත්මක පර්යේෂණ සඟරාව හරහා විද්‍යාත්මකව ලොවට ප්‍රකාශයට පත් කර තිබේ. එය ශ්‍රී ලංකාවේ වටිනාකමට මෙන්ම ලංකාව තුල සිදු වන ශාක පිළිබඳ පර්යේෂණ  සඳහා විශාල වටිනාකමක් එක් කිරීමට හේතු වී තිබේ.

කෙසේ නමුත් දැනට ලංකාව තුල පරිසර හායනයන් විශාල ලෙස සිදුවීම නිසා  මෙවැනි ශාක විශේෂ හඳුනා ගැනීමටත් පෙර ලෝකයෙන් තුරන් වීම සිදුවන අතර ඒ සඳහා පිළියම් ලෙස ලංකාව තුල පවත්නා පරිසර පද්ධති සංරක්ෂණය කිරීමට ජාතික මට්ටමෙන් කටයුතු කිරීම සිදු කල යුතුවේ. ඒ මගින්  මෙවැනි විශාල වටිනාකමක් සහිත දුර්ලභ ශාක විශේෂ ආරක්ෂා කර ගැනීමට මෙන්ම මෙම ජීව විශේෂ අනාගත ලෝකයට උරුම කර දීමට  හැකි වනු ඇත.

Share.
Leave A Reply