දීර්ඝ කාලයක් තිස්සේ වැලි තැන්පත් වීම හේතුවෙන් සම්පූර්ණයෙන්ම අක්‍රිය වී ඇති අම්පාර ඔලුවිල් ධීවර හා වාණිජ වරාය නැවත සක්‍රීය කිරීම සඳහා දීර්ඝකාලීන විද්‍යාත්මක විසඳුම් ඇතුළත් ඒකාබද්ධ වැඩපිළිවෙළක් ආරම්භ කර ඇති බව ධීවර, ජලජ සහ සාගර සම්පත් නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ මහතා පැවසීය.

වරාය ඉදිකිරීමේදී රළ පහර, දියවැල් සහ වැලි ගමන් කිරීම පිළිබඳ නිසි විද්‍යාත්මක හෝ සක්‍යතා අධ්‍යයනයන් සිදු නොකිරීම මෙම තත්ත්වයට ප්‍රධාන හේතුව වී ඇති බව පෙන්වා දුන් නියෝජ්‍ය අමාත්‍යවරයා, මේ වන විට ජනාධිපති කාර්යාලය, පරිසර අමාත්‍යාංශය, වරාය අධිකාරිය, වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව ඇතුළු අදාළ ආයතන එක්ව විශේෂ මෙහෙයුම් කමිටුවක් පිහිටුවා ඇති බව සඳහන් කළේය. මෙහිදී ධීවර වරාය කොටස පමණක් වෙන්කර ප්‍රතිසංස්කරණය කිරීම කෙරෙහි ද අවධානය යොමුව තිබේ.

තවද, වරාය පරිශ්‍රයේ ගොඩගැසී ඇති වැලි ලබා ගැනීමට විදේශීය ආයතන උනන්දුවක් දැක්වුවද, එම වැලිවල වටිනා ඛනිජ ද්‍රව්‍ය පවතින බැවින් ඒවා විදේශයන්ට ලබා දීමේදී නීතිමය ගැටලු පවතින බවද ඔහු වැඩිදුරටත් අනාවරණය කළේය.

මෙයට අමතරව, දිවයින පුරා පිහිටි ධීවර වරායන් සංවර්ධනය කිරීමේ දැවැන්ත වැඩසටහනක් ද ප්‍රකාශයට පත් කෙරිණි:

මාතර ගන්දර ධීවර වරාය: මීටර් 650ක දියකඩනයක් සහ අතිනවීන පහසුකම් සහිතව සංවර්ධනය කිරීමට සැප්තැම්බර් 25 වැනිදා මුල්ගල තැබේ.

වාලච්චේන ධීවර වරාය: පළමු අදියරේ දියකඩනය ඉදිකිරීම් ඔක්තෝබර් 18 වැනිදා ආරම්භ කිරීමට නියමිතයි.

කලාමැටිය සහ අම්බලන්ගොඩ: මෙම වරායන්හි රොන්මඩ ඉවත් කිරීම සහ යටිතල පහසුකම් පිළිසකර කිරීම ඔක්තෝබර් මාසයේදී ආරම්භ වේ.

ධීවර ජනතාවගේ ජීවනෝපාය සුරක්ෂිත කරන අතරම, අනාගත පරපුර උදෙසා සාගර සම්පත් තිරසාර ලෙස කළමනාකරණය කිරීමට රජය කැපවී සිටින බව නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කළේය.

Share.
Leave A Reply