‘වැලිගොව්වා’ අල්ලස් දැලට පටලවාගත් රාජිතට ඇප: විදේශ ගමන් තහනම්!

කොරියානු සමාගමකට අනිසි වාසි සැලසූ බවට චෝදනා 5ක්

රුපියල් ලක්ෂ 20ක ශරීර ඇප: ඇපකරුවෝ ළඟම ඥාතීන්

විදේශ ගමන් බලපත්‍රය අධිකරණ භාරයට

කිරින්ද ධීවර වරායේ වැලි ඉවත් කිරීමේ ව්‍යාපෘතියක් මුදල් කරගනිමින් රජයට පාඩු සිදුකිරීම සහ අල්ලස් පනත උල්ලංඝනය කිරීමේ සිද්ධියට අදාළව, හිටපු ධීවර අමාත්‍ය රාජිත සේනාරත්න මහතාට කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා භාරදී තිබේ.

අධිචෝදනා පත්‍ර භාරදීමෙන් අනතුරුව මහාධිකරණ විනිසුරු මොහොමඩ් මිහායිල් මහතා විසින් විත්තිකාර හිටපු අමාත්‍යවරයාට රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප දෙකක් නියම කළ අතර, ඔහුගේ විදේශ ගමන් බලපත්‍රයද අධිකරණය භාරයට ගැනීමට නියෝග කළේය. එමෙන්ම පනවා ඇති ඇප කොන්දේසි අනුව ඇපකරුවන් ළඟම ඥාතීන් විය යුතු අතර, ඒ අනුව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී චතුර සේනාරත්න (පුතු) සහ ගයාන් භාෂණ (සොහොයුරාගේ පුතු) යන මහත්වරුන් විසින් ඇප තබනු ලැබීය.

‘වැලිගොව්වා’ නෞකාව සහ කොරියානු සමාගම

2012 ජූනි 12 වනදා සහ අගෝස්තු 06 වනදා අතර කාලසීමාව තුළ ධීවර අමාත්‍යවරයා ලෙස කටයුතු කරමින්, කිරින්ද ධීවර වරායේ වැලි ඉවත් කර වෙළෙඳපොළට විකිණීම සඳහා ‘සී වූ කම්පැනි ලිමිටඩ්’ (Sea Woo Company Ltd) නමැති කොරියානු සමාගම තෝරාගැනීමට කටයුතු කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇත.

එමෙන්ම, ධීවර වරාය නීතිගත සංස්ථාවට අයත් ‘වැලිගොව්වා’ නමැති වැලි හාරන නෞකාව අදාළ කොරියානු සමාගම වෙත බදු පදනම මත පවරා දෙන ලෙස සංස්ථාවේ සභාපතිවරයාට නීතිවිරෝධී ලෙස බලපෑම් කිරීම සම්බන්ධයෙන්ද විත්තිකරුට එරෙහිව කරුණු අනාවරණය වී තිබේ.

අල්ලස් පනතේ 70 වැනි වගන්තිය ප්‍රකාරව, දූෂණය නමැති වරද යටතේ හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතාට එරෙහිව චෝදනා 05ක් යටතේ අල්ලස් කොමිසම විසින් මෙම අධිචෝදනා පත්‍රය ඉදිරිපත් කර ඇත. නඩුව වැඩිදුර පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය සඳහා යොමු කිරීමට මහාධිකරණය වැඩිදුරටත් නියෝග කළේය.

Share.
Leave A Reply