මහරගම අපේක්ෂා පිළිකා රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන අහිංසක රෝගීන් සහ දරුවන් වෙනුවෙන් ක්‍රියාත්මක වූ දැවැන්ත පුණ්‍ය ව්‍යාපෘතියක් රෝහල් පරිශ්‍රයේදී සාර්ථකව සිදු කෙරණි.
සිද්ධමුල්ල ප්‍රගති සංස්කෘතික සංසදය විසින් 07 වන වරටත් සංවිධානය කළ මෙම මහා දානමය පිංකමේදී, රෝහලේ නේවාසික රෝගීන් ඇතුළු 1070 දෙනෙකු සඳහා පෝෂණීය දිවා ආහාර වේලක් පිරිනැමීමට කටයුතු කර තිබේ.
ඊට අමතරව, රෝහලේ ළමා ඒකකයේ ප්‍රතිකාර ලබන කුඩා දරුවන්ගේ ජීවිත සුරැකීම වෙනුවෙන් අත්‍යවශ්‍යයෙන්ම පවතින රුපියල් ලක්ෂ 4ක් පමණ වටිනා ඖෂධ (Meropenem Injection USP, Sy belcid, Syrup solmox 5) තොගයක්ද මෙහිදී රෝහල් බලධාරීන් වෙත පූජා කෙරිණි.
හෝමාගම ප්‍රාදේශීය සභා මන්ත්‍රී, සිද්ධමුල්ල ප්‍රගති සංස්කෘතික සංසදයේ සභාපති නිර්මල සුඛිත් හපුආරච්චි මහතාගේ පූර්ණ මෙහෙයවීම සහ සංකල්පය මත මෙම පුණ්‍යකර්මය සංවිධානය කර ඇත.
මේ සඳහා ප්‍රදේශවාසීන්, දෙස් විදෙස් දානපතියන් මෙන්ම 306 D 7 දිස්ත්‍රික්කයේ කොට්ටාව සිංහ සමාජයද විශාල දායකත්වයක් ලබා දී තිබේ.
මෙම සත්කාරය සම්බන්ධයෙන් අදහස් දැක්වූ සංසදයේ සභාපති නිර්මල සුඛිත් හපුආරච්චි මහතා සඳහන් කළේ, අසීරු අවස්ථාවක පසුවන අපේක්ෂා රෝහලේ රෝගීන්ට සහ දරුවන්ට සහනයක් වීම තමුන්ගේ ප්‍රධාන අරමුණ වූ බවයි. මේ සඳහා කාලය, ධනය සහ ශ්‍රමය කැප කළ සංසදයේ කාරක සභිකයන් ඇතුළු සහය දැක්වූ සැමට තමාගේ ශීර්ෂ ප්‍රණාමය පුදකරන බව ද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

