පෙත්සම් 82 කින් ශ්‍රේෂ්ඨාධිකරණය ගිගුම් දෙයි!

22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට එරෙහිව ගොනු කළ පෙත්සම් විභාගය අද ආරම්භ වූ අතර, පිවිතුරු හෙළ උරුමයේ නායක, නීතිඥ උදය ගම්මන්පිල මහතා මාධ්‍ය හමුවේ විශේෂ කරුණු 04 ක් හෙළිදරව් කළේය:

01. 13 වන සංශෝධනයත් පරාජය කළ පෙත්සම් වැස්සක්!

මෙම සංශෝධනයට එරෙහිව පෙත්සම් 82 ක් ඉදිරිපත් වී ඇත.

13 වන සංශෝධනයට පවා මෙතරම් පෙත්සම් සංඛ්‍යාවක් ඉදිරිපත් වී නොමැත.

02. නීතිඥයින්ගේ ඉල්ලීමට අධිකරණ ශාලාව වෙනස් වෙයි

විශාල නීතිඥයින් සහ පෙත්සම්කරුවන් පිරිසක් පැමිණ සිටීම නිසා නඩුව 502 ශාලාවේ සිට විශාල 501 අධිකරණ ශාලාව වෙත මාරු කිරීමට අධිකරණය පියවර ගෙන ඇත.

03. විනිසුරුවන් 13 දෙනාගේම ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි

මෙම නඩුවෙන් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් කෙළින්ම ප්‍රතිලාභ ලබන බැවින් විනිසුරුවරුන් 13 දෙනාගෙන්ම සමන්විත පූර්ණ විනිසුරු මඩුල්ලක් ඉල්ලා සිටියද, එම ඉල්ලීම අධිකරණය විසින් ප්‍රතික්ෂේප කර ඇත.

04. අත්දැකීම් තර්කයට අගවිනිසුරුගෙන් දුන් උත්තරය

වැඩි අත්දැකීම් ඇති විනිසුරුවන් රඳවා ගැනීමට සංශෝධනය ගෙන එන බව ආණ්ඩුව කීවද, අගවිනිසුරුවරයා පංච පුද්ගල විනිසුරු මඩුල්ල තෝරාගැනීමේදී 2, 3, 4 සහ 5 යන ජ්‍යෙෂ්ඨතම විනිසුරුවරුන් මඟහැර තිබේ.

වෙනත් ලෙසකින් කිවහොත් 02 වන ජ්‍යෙෂ්ඨ විනිසුරු සහ 13 වන කනිෂ්ඨ විනිසුරු අතර අවුරුදු 06 ක ජ්‍යෙෂ්ඨත්ව පරතරයක් තිබියදීත්, 13 වන කනිෂ්ඨතම විනිසුරුවරයාව පංච පුද්ගල මණ්ඩලයට තෝරාගෙන ඇත.

මෙම පත්කිරීම හරහා ආණ්ඩුවේ දේශපාලන තර්කය ශ්‍රේෂ්ඨාධිකරණය ඇතුළේදී සම්පූර්ණයෙන්ම බිඳ වැටී ඇති බව ගම්මන්පිල මහතා පෙන්වා දෙයි.

නඩුවේ ඉදිරි විභාග කිරීම් සිදුකෙරෙන අතර අවසන් තීන්දුව තෙක් අධිකරණයට ගරු කරමින් කරුණු දැක්වීමෙන් වළකින බවද උදය ගම්මන්පිල මහතා වැඩිදුරටත් පැවසීය.

Share.
Leave A Reply