ගොවීන් 8,000කට සහන – පිළිකා ඖෂධ ලක්ෂ 3ක ඇණවුමක් – විදුලි/ජල කප්පාදුවක් නෑ!

පාඩුවූ ඩොලර් රකින්න QR ක්‍රමය තවත් දැඩි වෙයි!

රාජ්‍ය දේපළ අවභාවිත කරමින් සහ ජනතාවගෙන් මුදල් කොල්ලකමින් රටට පාඩු සිදුකළ හිටපු මැති-ඇමැතිවරුන්ට එරෙහිව නීතිය තදින්ම ක්‍රියාත්මක කරන බවත්, ඔවුන්ගෙන් එම මුදල් අයකර ගැනීමට අමතරව සිරදඬුවම් පැමිණවීම සහ දේපළ පවරාගැනීම නියත වශයෙන්ම සිදුවන බවත් කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින් ජයතිස්ස මහතා අද (01) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී ප්‍රකාශ කළේය.

“විපක්ෂය මොන තරම් හරයක් නැති, පදනම් විරහිත ලොකු කතා කිව්වත් අපිට ඒවගෙන් වැඩක් නෑ. ජනතාවගෙන් කොල්ල කෑ මුදල් අපි කොහොම හරි අය කරගන්නවා,” යැයි අමාත්‍යවරයා මෙහිදී දැඩි ලෙස අවධාරණය කළේය.

අද (01)  පැවති කැබිනට් මාධ්‍ය හමුවේදී අනාවරණය වූ ප්‍රධාන කරුණු සහ දත්ත මෙසේය:

ජනතාවට සහන සහ මිල අඩුකිරීම්: ලෝක වෙළෙඳපොළේ භාණ්ඩ හා සේවා මිල ඉහළ ගොස් තිබුණද, සහන ලබාදිය හැකි පළමු අවස්ථාවේදීම ජනතාවට සහන සලසන බවත්, ඉදිරියේදී භාණ්ඩ හා ඉන්ධන මිල පහත හෙළන බවත් අමාත්‍යවරයා පැවසීය.

ගොවීන් 8,000කට සහන සහ නියඟයට විසඳුම්: වගා හානි වූ ගොවීන් 8,000කට අදාළ සහන ලබාදීමට නිලධාරීන් හරහා කටයුතු කර ඇති අතර, ඉදිරියේදී ඇතිවිය හැකි නියඟ තත්ත්වයන්ට මුහුණදීමටද පූර්ව විසඳුම් සූදානම් කර ඇත.

පිළිකා ඖෂධ හිඟයට තිත: පිළිකා රෝගීන් සඳහා අවශ්‍ය ඖෂධ ප්‍රාදේශීය මිලදී ගැනීම් හරහා ලබාගැනීමට කටයුතු කර ඇති අතර, ඖෂධ ලක්ෂ 3ක දැවැන්ත ඇණවුමක්ද මේ වන විට ලබාදී ඇත.

ඩොලර් අර්බුදයට QR විසඳුම: මාස 6ක් පුරා ක්‍රියාත්මක වන QR ක්‍රමය හරහා රටේ ඩොලර් සංචිත ආරක්ෂා කරගැනීම සිදුවන බවත්, මෙම ක්‍රමය මඟහරින පිරිස් සම්බන්ධයෙන් නීතිමය හා තාක්ෂණික විසඳුම් ලබාදෙමින් පවතින බවත් සඳහන් කළේය.

අපරාධකරුවන් 66ක් රටට: පසුගිය වසර 2 තුළ විදේශයන්හි සැඟව සිටි අපරාධකරුවන් 66 දෙනෙකු මෙරටට ගෙනවිත් ඇති අතර, සසු සියලු අපරාධකරුවන්ද කාලයක් ගතවුවද අනිවාර්යයෙන්ම රටට ගෙන එන බව පැවසීය.

විදුලි/ජල කප්පාදුවක් නෑ: විදුලිය හෝ ජල කප්පාදුවක් කිරීමට ආණ්ඩුව කිසිදු තීරණයක් ගෙන නොමැති බවත්, පවතින ජල සම්පත ආරක්ෂා කරගැනීමට විධිමත් පියවර ගන්නා බවත් පැහැදිලි කළේය.

වරාය නගරය සහ සෙවනගල: රටේ පවතින ආයෝජන අඩුව වරාය නගරයටද බලපා ඇති බැවින් ඊට විධිමත් පියවර ගන්නා අතර, සෙවනගල සීනි කර්මාන්තශාලාවේ වැටුප් ප්‍රශ්න විසඳා එය කඩිනමින් නැවත ආරම්භ කිරීමට කටයුතු යොදා ඇත.

එමෙන්ම ජාතික ජන බලවේගයේ රැස්වීම් සඳහා රජයේ ශතයක්වත් වැය නොකරන බවත්, 22 වන සංශෝධනය පදනම් කරගෙන රෝගී ජනතාව අපහසුතාවයට පත් නොකරන ලෙසත් අමාත්‍යවරයා වැඩිදුරටත් ඉල්ලා සිටියේය.

Share.
Leave A Reply