වත්මන් අගවිනිසුරු ගරු ප්‍රීති පද්මන් සුරසේන මහතා සම්බන්ධයෙන් මෑත දිනවල පාර්ලිමේන්තු සභා ගර්භය තුළ මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු විසින් ඉදිරිපත් කරන ලද බරපතළ චෝදනා සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මට්ටමින් ගෙන ඇති හෝ ගැනීමට නියමිත ක්‍රියාමාර්ග මොනවාදැයි වහා පැහැදිලි කරන ලෙස කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී, නීතීඥ දයාසිරි ජයසේකර ලිපියක් යොමු කරමින් ගරු කථානායකතුමාගෙන් ඉල්ලා සිටී.
ශ්‍රී ලංකා අධිකරණ පද්ධතියේ ස්වාධීනත්වය, ගෞරවය සහ මහජන විශ්වාසය ආරක්ෂා කිරීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවට ද බලවත් වගකීමක් පවතින බව පෙන්වා දෙන මන්ත්‍රීවරයා, සභාගර්භය තුළදී මතු වූ පහත සඳහන් බරපතළ කරුණු කෙරෙහි කථානායකවරයාගේ අවධානය යොමු කර ඇත
මිලියන 185ක මහල් නිවාසය: අගවිනිසුරුතුමාගේ පුත් දිමුතු සුරසේන මහතා කොළඹ ප්‍රදේශයෙන් රුපියල් මිලියන 185ක් පමණ වටිනා මහල් නිවාසයක් ලබාගැනීම සම්බන්ධයෙන් මතු වූ කරුණු.
වත්කම් ප්‍රකාශ ගැටලුව: එම දේපළ අත්පත් කරගැනීමේ මූලාශ්‍ර සහ අදාළ වත්කම් ප්‍රකාශ අතර ඇති සම්බන්ධතාව පිළිබඳ ප්‍රශ්න.
සහතිකපත් පිළිබඳ සැකයන්: අගවිනිසුරුතුමාගේ උපන් සහතිකය, විවාහ සහතිකය සහ දරුවන්ගේ උපන් සහතික සම්බන්ධයෙන් මන්ත්‍රීවරයෙකු මතු කළ සැකයන්. X-Press Pearl නඩුව: X-Press Pearl නැවෙන් රජයට හිමිවිය යුතු වන්දි අයකරගැනීමේ ක්‍රියාවලියේ ප්‍රගතිය/ප්‍රමාදය සහ අගවිනිසුරුගේ කාර්යභාරය.
අයුතු බලපෑම් චෝදනා: පවුලේ වත්කම් සහ X-Press Pearl වන්දි ක්‍රියාවලිය අතර යම් සම්බන්ධයක් තිබේද යන්න පිළිබඳව නැගී ඇති චෝදනා.
කථානායකවරයාගෙන් ඇසූ ප්‍රධාන ප්‍රශ්න 07 මෙස්සේය.
මෙම චෝදනා සම්බන්ධයෙන් කිසියම් මන්ත්‍රීවරයෙකු විසින් සාක්ෂි හෝ ලේඛන සභාගත කර තිබේද?
ඉදිරිපත් වූ කරුණු ගැන කථානායකවරයා මූලික පරීක්ෂණයක් හෝ විමසීමක් සිදුකර තිබේද?
චෝදනා සත්‍යද අසත්‍යද යන්න තහවුරු කරගැනීමට අදාළ ස්වාධීන ආයතන වෙත කරුණු යොමුකර තිබේද?
අගවිනිසුරුගේ හෝ පවුලේ සාමාජිකයන්ගේ වත්කම් පිළිබඳ කරුණු විමර්ශන බලධාරීන් වෙත යොමු කර තිබේද?
X-Press Pearl වන්දි නඩුව ගැන නීතිපති දෙපාර්තමේන්තුවෙන් හෝ රජයේ ආයතනවලින් නිල පැහැදිලි කිරීමක් ලබාගෙන තිබේද?
මෙම චෝදනා අසත්‍ය බව තහවුරු වුවහොත්, අධිකරණයේ හා අගවිනිසුරුගේ ගෞරවය රැකීමට ගන්නා පියවර මොනවාද? චෝදනා සත්‍ය බවට ප්‍රමාණවත් සාක්ෂි තිබේ නම් නීතිමය පියවර ගැනීමට අදාළ බලධාරීන්ට යොමු කරන්නේද?
“මෙම ඉල්ලීම කිසිසේත්ම අධිකරණයට අගෞරව කිරීමේ අරමුණින් කළ එකක් නොවේ. චෝදනා සත්‍ය නම් නීතිය ක්‍රියාත්මක කිරීමත්, අසත්‍ය නම් අධිකරණයේ ගෞරවය හා මහජන විශ්වාසය ආරක්ෂා කිරීමත් මෙහි අරමුණ නීතීඥ දයාසිරි ජයසේකර වැඩිදුරටත් මෙම සිද්ධිය සම්බන්ධයෙන් කියා සිටියේ ය.

