නෙක පාට කඩදාසි කැබලි එකතු කර, බටපතුරු මෘදුව නමා අලවන සරුංගලය යනු අහස සිතුවම් කරන පුංචි සුරංගනාවියකි. ළපටි සුළං රැල්ලක එල්ලී, අහස් ගැබ සිසාරා නිදහසේ පාවෙන විට සරුංගලයේ වරල් සැලෙන රිද්මය සැබවින්ම අපූර්ව නර්තනයකි.රසවත් වූ කතා කරන සිතුවමකි.

එය නූල් පොටකින් පොළොවට බැඳුණු, එහෙත් අහසේ නිදහස විඳින සොඳුරු සිහිනයකි. සවස් යාමයේ හිරු බැසයන රන්වන් අහස මත පාට පාට සරුංගලයක් නඟන ඒ විචිත්‍ර රූපමය රසය රසවිතය, දකින ඕනෑම හදවතක අහිංසක ළමා වියේ සොඳුරු මතකයන් නතර කරවන, නෙතටත් සිතටත් අසීමිත ආනන්දයක් ගෙනදෙන ජීවමාන කලා කෘතියකි.

සුළං රැල්ලක එල්ලී අහසට යන සුන්දර සිහිනයට ජීවය දෙන්නේ සරුංගලයයි. සරුංගලය යනු ඕනෑම අයෙකුට සිහින දැකීමට ඇති විශාලතම එළිමහන් සිතුවම් පුවරුවයි. පාට පාට කොළ කැබලි එකතු කර, බටපතුරු කපා, ලාටු ගා සාදාගන්නා පුංචි සරුංගලයක් අහසට මුදාහරින මොහොතේ දරුවෙකුගේ නෙතඟින් විහිදෙන ප්‍රීතිය මුළු ලෝකයක්ම ආලෝකමත් කිරීමට සමත්ය.

ලොව පුරා අගෝස්තු මස වියළි සුළං රැලිත් සමඟ අහස පුරා රටා මවන සරුංගල් දෙස බලන විට අපට පෙනෙන්නේ හුදෙක් සෙල්ලම් භාණ්ඩයක් පමණක් නොවේ. එය මිනිස් ශිෂ්ටාචාරයේ ආරම්භය, විද්‍යාත්මක සොයා ගැනීම්වල පෙරගමන්කරුවා, සංස්කෘතික බැඳීම්වල සංකේතයකි.

සරුංගලය වසර 3000ක අහස් ගමනේ කතාව සරුංගලය මෙන්ම සුන්දරය. චීන දාර්ශනිකයාගේ සිට ගුවන් යානය දක්වා සරුංගලයේ ඉතිහාසය දෙස ආපසු හැරී බලන විට එය වසර 3,000කට පවා එහා ගිය දීර්ඝ හා ආශ්චර්යමත් කතාවකට හිමිකම් කියයි.

ක්‍රි.පූ. 5 වන සියවසේදී චීන දාර්ශනික මොට්සේ (Mo-tse) විසින් ලීවලින් කුරුල්ලෙකුගේ හැඩයට තැනූ පළමු සරුංගලය අහසට යැවූ බව ඉතිහාසයේ සඳහන් වේ.

එකල සරුංගලය යනු හුදෙක් විනෝදාංශයක්ම නොවේ. යුධ පිටියේදී සතුරන්ට රහස් සංඥා යැවීමට, දුර ප්‍රමාණයන් මැන බැලීමට සහ හමුදා මෙහෙයුම් සඳහා බුද්ධි තොරතුරු රැස්කිරීමට සරුංගල් යොදා ගැනිණි.

චීනයේ කඩදාසි නිපදවීමත් සමඟ උණ ඉරටු සහ කඩදාසි එකතු වී සරුංගල් තාක්ෂණය ලොව පුරා සීඝ්‍රයෙන් ව්‍යාප්ත වීමට පටන් ගත්තේය.

13 වන සියවසේදී සුප්‍රකට යුරෝපීය ගවේෂක මාර්කෝ පෝලෝ විසින් ආසියාවේ සරුංගල් සංස්කෘතිය යුරෝපයට හඳුන්වා දීමත් සමඟ එය මුළු මහත් ලෝකයම වසඟයට ගත්තේය.

විද්‍යාවේ දියුණුව උදෙසා සරුංගලය ඉටු කළ මෙහෙය සුළුපටු නොවේ. 1752 දී බෙන්ජමින් ෆ්‍රැන්ක්ලින් අකුණු කුණාටුවක් මැද සරුංගලයක් අහසට යවමින් අකුණු යනු විද්‍යුතයේම ප්‍රතිඵලයක් බව ලොවට තහවුරු කළේය.

පසුව ලෝරන්ස් හාග්‍රේව් වැනි විද්‍යාඥයින්ගේ සරුංගල් ආශ්‍රිත වායුගෝලීය අධ්‍යයනයන් සහ වායුගෝල විද්‍යා (Aerodynamics) පරීක්ෂණ, අද අප දකින ගුවන් යානය (Airplane) නිර්මාණය වීමට පදනම් මූලධර්මය සැපයීය.

පෙරදිග සහ අපරදිග වර්ණවත් කරන ජාත්‍යන්තර සරුංගල් මංගල්‍යයන්ලොව පුරා විවිධ සංස්කෘතීන් තුළ සරුංගලය යනු දේවතාවුන් උදෙසා කරන යාඥාවක්, ඍතු විපර්යාස සැමරීමක් හෝ මානව බැඳීම් පුරුක් කරන ප්‍රබල උත්සවයකි.

ඉන්දියාවේ අහමදාබාද් ජනවාරි මාසයේ පැවැත්වෙන මකර සංක්‍රාන්ති (උත්තරායන්) උත්සවයේදී මුළු අහසම වර්ණවත් කරමින් දහස් ගණනක් සරුංගල් අහසට යැවේ. රාත්‍රී කාලයේ අහස ආලෝකමත් කරන “තුක්කල්” ලොව පුරා සංචාරකයින්ගේ දැඩි ආකර්ෂණය දිනා ගනී.

ඉන්දුනීසියාවේ බාලි උත්සවය හා බැදුනු සරුංගල් කතාව සුන්දරය. ජූලි-අගෝස්තු කාලයේදී පවත්වන මෙම උත්සවයේදී මීටර් 10කට වඩා විශාල “බීංතං” සහ සිය ගණනක් දිග වල්ග සහිත  යෝධ සරුංගල් අහසට යවන්නේ හින්දු සංස්කෘතික බැඳීම් තහවුරු කරමිනි.

ජපානයේ ඔඩකෝ සරුංගල් මංගල්‍යයේ පුදුමය සරුංගල් කතාවට පුදුමයක් ගෙන දේ. ටොන් 1.3ක් බරැති, මීටර් 13×13 ප්‍රමාණයේ යෝධ සරුංගල් අහසට යැවීමට සියයකට ආසන්න පිරිසක් එක්ව ලණුවලින් ඇදිය යුතුය.

“ලෝකයේ සරුංගල් අගනුවර” ලෙස සැලකෙන වේයිෆැංහිදී මකර හැඩැති සාම්ප්‍රදායික මෙන්ම නවීන 3D සරුංගල් දහස් ගණනක් ගුවනට මුදා හැරේ.

ගෝතමාලාවේ බර්සි උත්සවය කතාව රසවත්ය. නොවැම්බර් 1 වන දින මියගිය ඥාතීන් සිහිපත් කරමින් අඩි 40-50 උසැති අතිශය විචිත්‍රවත් සරුංගල් ප්‍රදර්ශනය කරනු ලබයි.

“සරුංගලේ වරල් සැලේ” යන ගීතයකින් කියැවෙන රපෝර්තුව සහ රටේ බුද්ධි ගලනයමෙරට කලා ක්ෂේත්‍රය තුළ සරුංගලය යනු හුදෙක් සෙල්ලම් භාණ්ඩයක් නොව, සමාජීය ප්‍රහාරයක් එල්ල කරන දැවැන්ත සංකේතයකි.

ආචාර්ය නන්දා මාලිනියන්ගේ හඬින් විසිතුරු වන, මහාචාර්ය සුනිල් ආරියරත්නයන් පද රචනා කළ ‘සරුංගලේ වරල් සැලේ’ ගීතය දෙස බලන්න. එහි ඇත්තේ රටේ නිදහස් අධ්‍යාපනයෙන් සහ මහජනතාවගේ බදු මුදලින් ඉහළටම ගොස්, අවසානයේ මව්බිම හැර යන උගතුන් පිළිබඳ කෙරෙන සංවේදී විවේචනයකි.

සංකේතයසමාජීය අර්ථ නිරූපණයඅපේ ළමයි (මව්බිම) බටපතුරු කපා, ලාටු ගා, කොළ අලවා, නූල් බැඳ සරුංගලය තැනීමට වෙහෙස මහන්සි වූ සාමාන්‍ය ජනතාව සහ මව්බිම.සරුංගලයරටේ සම්පත්වලින් ඉහළටම ගොස්, අවසානයේ වෙනත් සැපවත් රටවලට පියාඹා යන උගත් බුද්ධිමතුන්.බිම සිටීම සහ අහසට යාමපීඩිත ජනතාව දුෂ්කරතා මැද බිම ඉතිරි වෙද්දී, උගත්කම ලබාගත් පිරිස මව්බිම අමතක කර අහසට නැඟී වෙනත් රටකට පියාඹා යාම ලස්සනයි ඒ් කතාව නේ ද?

තමන් හැදී වැඩුණු, අමාරුවෙන් උගත් උපන්බිමට වඩා වෙනත් සැපවත් රටවල් උතුම් යැයි සිතීමත්, රටට තමන්ගේ සේවය වඩාත්ම අවශ්‍ය මොහොතේ මව්බිම තනි කර යාමත් යන “බුද්ධි ගලනය” පිළිබඳ ඛේදනීය ඇත්ත සරුංගලයේ සංකේතයෙන් අපට මතක් කර දෙයි.

ආගම දහම ඇසින් සරුංගලයේ කතාව ද සිත ගත සමාධිගත කරවති.තෘෂ්ණාවේ නූල සහ අනිත්‍යතාව බුදු දහමේ සහ ප්‍රාචීන දර්ශනයේද සරුංගලය යනු ගැඹුරු ජීවන පැවැත්ම පැහැදිලි කිරීමට යොදාගන්නා අපූර්ව උපමාවකි.

සරුංගලයක් අහසේ කොතෙක් ඉහළට ගියද එය පාලනය වන්නේ අපට නොපෙනෙන නූලකිනි. අනිත්‍යතාවේ කතාවද සරුංගලය රටට ලොවට සමාජයට කියන්නා වු සරුංගලය මෙන් කතාවකි. සුළඟ පවතින තාක් පමණක් සරුංගලය අහසේ රැඳී සිටී. සුළඟ නතර වූ සැණින් එය බිම වැටේ.

ලෝකයේ කිසිදු දෙයක් සදාකාලික නැති බවත්, සියල්ල හේතු-ප්‍රත්‍ය මත රඳා පවතින බවත් මෙයින් පසක් වේ. තෘෂ්ණාව සහ බැඳීම ආගමික සුන්දරත්වය සරුංගලය කියාදෙන දහමයි. සරුංගලය අහසට අද්දවන නූල යනු මිනිසා සංසාරයටත්, ලෞකික සම්පත්වලටත් බැඳ තබන තෘෂ්ණාවයි.

නූල කැඩී ගිය විට සරුංගලය නිදහසේ පියාඹනවා සේ පෙනුනද, පාලනයක් නැතිව එය යම් ගසක හෝ රැහැනක පැටලී විනාශ වී යයි. පාලනයක් නැති නිදහස ද මිනිසා විනාශය කරා ගෙන යයි.

ළමා රෝහලෙන් එන බිහිසුණු අනතුරු ඇඟවීම ද වැදගත්ය. මෙය රටම බලන වැඩිහිටි අයගේ ද අවධානයට ලක්විය යුතු කරුණක් බව වෛද්‍යවරු පවසති.

සරුංගලයේ සුන්දරත්වය පැත්තක තිබියදී, වර්තමානයේ අප හමුවේ ඇති බිහිසුණුම යථාර්ථය වන්නේ සරුංගල් නිසා සිදුවන මාරාන්තික හදිසි අනතුරුයි. කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ අංශ වෙතින් නිකුත් වන නවතම වාර්තාවලට අනුව, නිවාඩු සමයේ සරුංගල් යැවීමට ගොස් බරපතළ අනතුරුවලට ලක්වන දරුවන්ගේ සංඛ්‍යාව ශීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇත.

දෙමාපියන් වහාම අවධානය යොමු කළ යුතු අවදානම් ද සරුංගලය පිළිබඳව කතාවේදී අමතක කළ නොහැකිය ‍.

අත්-පා කපා ඉවත් කිරීමට සිදු කරන සරුංගලයේ කතාව පුදුමය. අධිබලැති විදුලි රැහැන් ආසන්නයේ සරුංගල් යැවීමේදී හෝ තෙතමනය සහිත/ලෝහමය නූල් විදුලි රැහැන්වල ගැටීමෙන් ක්ෂණිකව අධික විදුලි සැර වැදී අත්, බාහු, පපුව සහ ස්නායු පටක පිළිස්සී යයි.

මේ නිසා දරුවන්ගේ අත් හෝ පාද ශල්‍යකර්ම මගින් කපා ඉවත් කිරීමට සිදුවේ.

සරුංගලය නිසා ක්ෂණික ජීවිත හානි සිදුවේ. අධිබල විදුලි ධාරාවන් ශරීරය හරහා ගමන් කිරීමෙන් ක්ෂණිකව හදවත නතර වී දරුවන් ජීවිතක්ෂයට පත්වේ.උස් ස්ථානවලින් ඇදවැටීම් ද  ගොඩනැගිලි තට්ටු, වහලවල් හෝ අන්තරායකර උස් ස්ථානවල සිට අහස දෙස බලමින් සරුංගල් යැවීමේදී බිමට ඇදවැටී කොන්ද සහ හිස තුවාල වී ජීවිතාන්තය දක්වා ආබාධිත තත්ත්වයන්ට පත්වේ.

අනාගතයට පණිවිඩයක් දිය හැකිය සරුංගලයක් යනු හුදෙක් නූලකට සම්බන්ධ කළ කඩදාසි අලවන ලද සැකිල්ලක් පමණක් නොවේ. එය ඉතිහාසයේ, විද්‍යාවේ, සංස්කෘතියේ සහ කලාත්මක ප්‍රකාශනයේ එකතුවකි.

නමුත් එම සරුංගලය අපගේ දරුවෙකුගේ අනාගතය අඳුරු කරන හෝ මව්බිම අමතක කර පියාඹන සංකේතයක් බවට පත් නොකර ගැනීමට අප වගබලා ගත යුතුය.

සුළඟට මුසු වන සරුංගලයේ රිද්මය නරඹන අතරම, අපේ දරුවන් ආරක්ෂිත එළිමහන් පිටිවල පමණක් සරුංගල් යවන බවටත්, මව්බිමේ මහ පොළවට ආදරය කරන පරපුරක් බවට පත්වන බවටත් වගබලා ගැනීම අද දවසේ සමස්ත සමාජයේම වගකීමයි.

සරුංගලය යනු හුදෙක් නූලකට බැඳුණු කඩදාසි සැකිල්ලක් නොවේ. එය මානව නිදහසේ සහ නොසැලෙන අභිලාෂයන්හි පියාසර ප්‍රකාශනයයි. පොළොවේ පස් අතහැර අහස සිපගන්නට යන මොහොතේත්, එය අපට මතක් කරන්නේ නූල් පොටකින් අල්ලාගත් උපන්බිමේ බැඳීම සහ කෘතගුණ සැලකීමේ අගයයි.

අහස තරම් උසට දැනුමෙන් හා කුසලතාවෙන් නැගී සිටිය ද, අපේ මුල් පැළපදියම් වූ මව්බිම අමතක නොකළ යුතුය. සුළඟේ සැහැල්ලුවෙන් අහස මෙන්ම මුළු ලෝකයම දිනන්න. නමුත් සරුංගලයක් සේම ඔබේ මව්බිමේ ආදරණීය නූල් පොට සදාකාලිකව හදවතට සම්බන්ධ කර තබා ගන්න යැයි සරුංගලය කියන සුන්දර කතාවයි.

සටහන නිමල් අල්ගෙවත්ත 2026.08.23

Share.
Leave A Reply