– 18% VAT සහ ගල් බෝතලයේ බද්ද ගැනත් පාර්ලිමේන්තුවේදී දැඩි ප්‍රහාරයක්

අධිකරණයේ ස්වාධීනත්වය, නීතිඥවරුන්ගේ වයස් සීමා දීර්ඝ කිරීමේ යෝජනාව සහ අධික බදු බර මුල් කරගනිමින් පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා ආණ්ඩුවට එරෙහිව දැඩි විවේචනයක් එල්ල කරයි. මන්ත්‍රීවරයා චෝදනා කරන්නේ වත්මන් ආණ්ඩුවට බලය තිබුණද රට පාලනය කිරීමට අවශ්‍ය නුවණ සහ මොළය නොමැති බවයි.

අධිකරණය සහ නීති ක්ෂේත්‍රය කිසිදු දේශපාලන පක්ෂයකට අයත් නොවන ස්වාධීන ආයතනයක් විය යුතු බව පෙන්වා දුන් මන්ත්‍රීවරයා, නීතිඥවරුන්ගේ වයස් සීමාවන් දීර්ඝ කිරීමට එරෙහිව නැගී ඇති විරෝධය සාධාරණ බව සඳහන් කළේය.

“රටේ ලක්ෂ 17ක් වන රාජ්‍ය සේවකයන් ඉන්නවා. එක් ක්ෂේත්‍රයක වයස් සීමාව වසර දෙකකින් වැඩි කළොත්, මේ ලක්ෂ 17ම තමන්ගේ සේවා කාලයත් වැඩි කරන්න කියයි. අන්තිමේදී රටේ තරුණ පිරිසට රැකියා නැති වෙනවා,” යැයි ඔහු පෙන්වා දුන්නේය.

ආණ්ඩුවේ වත්මන් බදු ප්‍රතිපත්තිය දැඩි ලෙස විවේචනය කළ අබේගුණවර්ධන මහතා, 18%ක VAT බද්ද හමුවේ ව්‍යාපාරිකයන් දැඩි අපහසුතාවයට පත්ව ඇති බව පැවසීය. සාමාන්‍ය ජනතාව මත පටවා ඇති අධික බදු බර උදාහරණ සහිතව පෙන්වා දෙමින් ඔහු සඳහන් කළේ, රුපියල් 3,800කට අලෙවි වන ගල් අරක්කු බෝතලයකින් රුපියල් 2,200ක්ම රජය බදු ලෙස අයකර ගන්නා බවයි. ඒ අනුව මාසිකව මත්පැන් පානය කරන අයෙකුගෙන් වසරකට රුපියල් 7,92,000ක මුදලක් රජය බදු ලෙස ලබාගන්නා බවද ඔහු සඳහන් කළේය.

තමන් වසර 30ක් පාර්ලිමේන්තුවේ සිටි අයෙකු ලෙස ආණ්ඩුවේ වැරදි පෙන්වා දෙන විට ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් කලබල වන ආකාරය “ගැරඩින්ට භූමිතෙල් ගැහුවා වගේ” යැයි උපමා කළ මන්ත්‍රීවරයා, ආණ්ඩුවේ මැති ඇමතිවරුන්ගෙන් ඉල්ලා සිටියේ රටට හානිකර “වල් පැල” නොවී ජනතාවට සේවය කරන “මල් පැල” බවට පත්වන ලෙසයි.

මන්ත්‍රීවරයාගේ මෙම ආවේගශීලී කතාව අතරතුර ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන්ගෙන් දැඩි ඝෝෂාවක් සහ බාධා කිරීම් එල්ල වූ අතර, සභාව තුළ උණුසුම් තත්ත්වයක් හටගත්තේය.

Share.
Leave A Reply