අනුන්ගේ ජීවිත බේරා ගැනීමට ගොස් තම ජීවිත පූජා කළ මානවවාදී සහන සේවකයන් සංඛ්‍යාව ඉහළ ගොස් ඇති බව ජාත්‍යන්තර දත්ත වාර්තා හෙළි කරයි.
ලෝක මානවවාදී දිනය (අගෝස්තු 19) යෙදී ඇති අතර, 1997 සිට මේ දක්වා ලොව පුරා සහන සේවකයන් ඉලක්ක කර ප්‍රහාර 6,000කට අධික ප්‍රමාණයක් එල්ල වී තිබේ. එම ප්‍රහාරවලින් සහන සේවකයෝ 4,500කට වැඩි පිරිසක් ඝාතනය වී ඇති අතර, 4,200කට අධික පිරිසක් තුවාල ලබා ඇත. තවත් 3,000කට ආසන්න පිරිසක් සන්නද්ධ කණ්ඩායම් විසින් පැහැරගෙන තිබේ.
ඉතිහාසයේ දරුණුතම තත්ත්වය වාර්තා කරමින් පසුගිය වසරේ පමණක් සහන සේවකයින් 1,187 දෙනෙකු විපතට පත්ව ඇති අතර, එයින් 350 දෙනෙකුම ඝාතනය විය. මෙසේ ප්රහාරයන්ට ලක්වූවන්ගෙන් 90%කට වඩා දේශීය සහන සේවකයන් වීම විශේෂත්වයකි. ගාසා තීරය, සුඩානය සහ යුක්රේනය සහන සේවකයන්ට ලොව වඩාත්ම අන්තරායකර කලාප බවට පත්ව ඇත.

