සේනාධිනායක ජනාධිපතිගේ කොන්දේසි සහිත නියෝගයත් උල්ලංඝනය කරලා!

ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී ධුරයට සිදු කිරීමට යන පත්කිරීමක් මුල් කරගනිමින්, සන්නද්ධ හමුදාවල අණදීමේ සහ පාලනයේ ජ්‍යෙෂ්ඨතා පටිපාටිය බරපතල ලෙස උල්ලංඝනය වන අන්දමේ දැවැන්ත පාලන අර්බුදයක් හටගෙන තිබේ.

ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ අභිමතය මත අගෝස්තු 14 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි සිදු කිරීමට යන මෙම පත්කිරීම, ජනාධිපති ලබා දුන් පැහැදිලි කොන්දේසි සහිත නියෝගය පවා සෘජුවම උල්ලංඝනය කිරීමක් බව ගුවන් හමුදා අභ්‍යන්තරයෙන් වාර්තා වේ.

සිද්ධියට අදාළව පස්දෙනෙකුගෙන් යුත් විශේෂ විමර්ශන කමිටු වාර්තාව මඟින් එයාර් වයිස් මාර්ෂල් P N De Costa නිලධාරියාගේ ස්ථිර උසස්වීම් දිනය 2025 ජනවාරි 03 දක්වා සංශෝධනය කිරීමට නිර්දේශ කළේ “ගුවන් හමුදාවේ අණ හා පාලනයට කිසිදු අගතියක් නොවන පරිදි” යන පැහැදිලි කොන්දේසිය මතය. ජනාධිපති අනුමැතිය ලබා දී ඇත්තේද එම කොන්දේසියට යටත්ව බව ආරක්ෂක අමාත්‍යාංශයේ MOD/DEF/HRM/05/AF/ROG/25 දරන නිල ලිපියෙන්ද තහවුරු වේ.

නමුත් එම කොන්දේසිය සෘජුවම උල්ලංඝනය කරමින්, දැනට සිටින ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ නිසි ජ්‍යෙෂ්ඨතාවය සහ අණදීමේ බලතල පසෙකලා අදාළ නිලධාරියාව නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී තනතුරට පත් කිරීමට ආරක්ෂක ලේකම්වරයා දැඩි උත්සාහයක නිරත වන බව හෙළි වී ඇත. මෙය සේනාධිනායක නියෝගය අභිබවා යාමක් බව ගුවන් හමුදාවේ උසස් නිලධාරිහු පවසති.

මෙම අසාධාරණය සහ අණදීමේ පටිපාටියට සිදුවන හානිය හමුවේ අසාධාරණයට ලක්වූ ජ්‍යෙෂ්ඨ එයාර්  මාර්ෂල්වරුන් අටදෙනෙකු (08)  විසින් ගුවන් හමුදාධිපති මාර්ගයෙන් සන්නද්ධ හමුදා සේනාධිනායක ජනාධිපතිතුමන් වෙත හදිසි අභියාචනයක් යොමුකිරීමට කටයුතු කර තිබේ. ජනාධිපතිවරයාගේ මුල් නියෝගයේ කොන්දේසි සුරක්ෂිත කරමින් නිසි ජ්‍යෙෂ්ඨතා අනුපිළිවෙල පවත්වාගෙන යාමට වහාම මැදිහත් වන ලෙස එමඟින් ඔවුන් ඉල්ලා ඉල්ලා සිටිති.

හමුදා පද්ධතියක පැවැත්ම තීරණය වන ජ්‍යෙෂ්ඨතා පටිපාටිය මෙලෙස හසුරුවන්නට අමාත්‍යංශ ලේකම් වරයා විසින් ගනු ලබන  උත්සාහ කිරීම හමුවේ, ආණ්ඩුව ගන්නා ඉදිරි සම්බන්ධයෙන් ගුවන් හමුදාවේ උසස් නිලධාරිහු දැඩි අවධානයෙන් සිටින බවද සමහර උසස් නිලධාරිහු පැවසූහ.

Share.
Leave A Reply