විධායකය අහෝසි කරනවා වෙනුවට විනිසුරන්ගේ වයස වැඩි කරන්න හදනවා!
ඩොලර් බිලියන 10.9 සංචිත වෙනුවට තියෙන්නේ බිලියන 5යි!
ගොවීන්ට සහ බන්ධනාගාර රැඳවියන්ට මර්දනය විතරයි!
තැපෑලෙයි, භාණ්ඩාගාරෙයි, ගල් අඟුරුයි, බහලුම්වලයි දැවැන්ත හොරකම්!
SJB ජාතික සංවිධායක තිස්ස අත්තනායකගෙන් දැඩි ප්‍රහාරයක්!
ජාතික ජන බලවේග ආණ්ඩුවට වසර දෙකක් පිරෙද්දී ජනතාවට ලබා දුන් කිසිදු පොරොන්දුවක් ඉටු කිරීමට සමත්ව නොමැති බවත්, ආණ්ඩුවේ අසාර්ථක භාවය සහ දූෂණ වංචා පිළිබඳව ජනතාව දැනුවත් කිරීම සඳහා “පෙරමග චාරිකා” නමින් රට පුරා දැවැන්ත මෙහෙයුමක් ආරම්භ කරන බවත් සමගි ජන බලවේගයේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා පැවසීය.
ඒ මහතා මේ බව සඳහන් කළේ අද (11) සමගි ජන බලවේග ප්‍රධාන කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවට එක්වෙමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ තිස්ස අත්තනායක මහතා මෙසේද සඳහන් කළේය.
ආණ්ඩුවේ අසාර්ථක භාවයට එරෙහිව SJB ලක්ෂ 10ක මෙහෙයුමක!
“ජාතික ජන බලවේග ආණ්ඩුවට සැප්තැම්බර් වන විට වසර දෙකක් පිරෙනවා. ඕනෑම ආණ්ඩුවක් තම ප්‍රතිපත්ති ප්‍රකාශයේ සඳහන් කරුණු ඉටු කරන්නේ පළමු වසර දෙක ඇතුළතයි. නමුත් බදු ඉවත් කිරීම, නීතියේ ආධිපත්‍යය සකස් කිරීම ඇතුළු කිසිම පොරොන්දුවක් ඉටු කරන්න මේ ආණ්ඩුවට බැරි වෙලා. ඒ නිසා සැප්තැම්බර් අග සිට ඡන්ද පොළ මට්ටමින් ජනතාව අතරට යන ‘පෙරමග චාරිකා‘ වැඩසටහන ආරම්භ කරනවා. ඒ වගේම ආණ්ඩුව කෙරෙහි කළකිරුණු ජනතාව ඒකරාශී කරමින් ලක්ෂ 10ක සමාජිකයන් බඳවා ගැනීමේ මෙහෙයුමකුත් ක්‍රියාත්මක කරනවා.”
ගොවි ජනතාව මුහුණ දී සිටින අර්බුදය පිළිබඳව අදහස් දක්වමින් මන්ත්‍රීවරයා කියා සිටියේ වී සඳහා රුපියල් 120ක සාධාරණ මිලක් ලබාදීමට හෝ වී ගබඩා විවෘත කිරීමට ආණ්ඩුව තවමත් කටයුතු කර නැති බවයි.
“අස්වැන්න ගන්න බැරිනම් කෘෂිකර්මාන්තය නවත්වන්න කියලා රටේ කෘෂිකර්ම ඇමැතිවරයා ගොවීන්ට තර්ජනය කරනවා. මෙයින් පැහැදිලි වන්නේ වර්තමාන ආණ්ඩුව කෘෂිකර්මාන්තය විනාශ කරන්නම ආපු ආණ්ඩුවක් බවයි.”
රට පුරා බන්ධනාගාර තුළ ඇති වී තිබෙන උණුසුම් තත්ත්වය පිළිබඳව අදහස් දැක්වූ ඔහු, ගැටුම්වලින් රැඳවියන් සහ නිලධාරීන් 30 කට ආසන්න ප්‍රමාණයක් මියගොස් තවත් විශාල පිරිසක් තුවාල ලබා ඇති බව අනාවරණය කළේය.
“බන්ධනාගාරවල පවතින සීමාව ඉක්මවා රැඳවීම්, නඩු ප්‍රමාදය සහ රසපරීක්ෂණ වාර්තා ප්‍රමාදය නිසා ඇතිවන මානසික පීඩනය තුවක්කුවෙන් මර්දනය කරන්න බැහැ. හමුදාව යොදවන්නේ නැතුව රැඳවියන්ගේ පහසුකම් වැඩි කරලා නඩු කටයුතු කඩිනම් කරන්න ආණ්ඩුව පියවර ගත යුතුයි.”
නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගෙන එන බවත්, විධායක ජනාධිපතිධූරය අහෝසි කරන බවත් පැවසූ ආණ්ඩුව, දැන් පුද්ගල කේන්ද්‍රගත සංශෝධන ගෙන ඒමට උත්සාහ කරන බවට තිස්ස අත්තනායක මහතා චෝදනා කළේය.
“අලුත් ව්‍යවස්ථාවක් හදනවා වෙනුවට ඉහළ අධිකරණවල විනිසුරුවන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කරන්න 22 වන සංශෝධනය ගෙනෙන්න හදනවා. රටේ පහළ උසාවිවල නඩු ලක්ෂ 11ක් ගොඩගැසිලා තියෙද්දී ඉහළ උසාවිවල විනිසුරන්ගේ කාලය දීර්ඝ කිරීමෙන් ඒක විසඳෙන්නේ නැහැ. මේ සංශෝධනය ජනතාව වෙනුවෙන් කරන එකක් නෙවෙයි, ආණ්ඩුවේ පැවැත්ම වෙනුවෙන් නීතිය හසුරුවන්න කරන එකක්.”
ආණ්ඩුව යටතේ සිදුව ඇති දැවැන්ත මූල්‍ය වංචා කිහිපයක් පිළිබඳවද SJB ජාතික සංවිධායකවරයා කරුණු අනාවරණය කළේය.
හොර රහසේ බහලුම් (Containers) නිදහස් කිරීමෙන් රටේ ජාතික ආරක්ෂාවට මෙන්ම ආර්ථිකයට දැවැන්ත පාඩුවක් සිදු කර ඇත.
ගල් අඟුරු වංචාව හරහා රටට රුපියල් කෝටි 1000 ක් අහිමි වී ඇත.
තැපැල් සහ භාණ්ඩාගාර මුදල්: මහා භාණ්ඩාගාරයේ සහ තැපැල් දෙපාර්තමේන්තුවේ මුදල් අස්ථානගත වී ඇති අතර, ඒවා නැවත අය කරගැනීමට පියවර ගෙන නොමැත.
අවසාන වශයෙන් රටේ පවතින ආර්ථික අර්බුදය ගැන කරුණු දැක්වූ මන්ත්‍රීවරයා,
“2026 දී රටේ විදේශ සංචිත ප්‍රමාණය ඩොලර් බිලියන 10.9 ක් ලෙස පවත්වා ගත යුතු වුවත්, දැනට ඇත්තේ ඩොලර් බිලියන 5ක් පමණයි. ආණ්ඩුව ගත් විදේශ ණයවලින් රටට සේවයක් වී නැහැ. 2027 සිට 2029 දක්වා වසරකට ඩොලර් බිලියන 2.5 සිට 3 දක්වා දැවැන්ත ණය ප්‍රමාණයක් ගෙවීමට තිබියදී ආණ්ඩුව සංචිත කළමනාකරණය කරගැනීමට අපොහොසත් වී තිබෙනවා. මේ හරහා ආණ්ඩුවේ ආර්ථික පාලනය සම්පූර්ණයෙන්ම අසාර්ථක බව පැහැදිලියි,” යනුවෙන් අවධාරණය කළේය.

