ලංකාව ලොවින්ම පළමු තැනට: අලි-මිනිස් ගැටුමට ජනපතිගෙන් විද්‍යාත්මක විසඳුමක්!

ජගත් අලි දිනය හෙටට (ඔගෝස්තු 12) යෙදී ඇති අතර, ලොව වැඩිම වන අලි මරණ සංඛ්‍යාවක් වාර්තා වන රට බවට ශ්‍රී ලංකාව පත්ව සිටින පසුබිමක අලි-මිනිස් ගැටුම විසඳීමේ දැවැන්ත ජාතික මෙහෙයුමක් ආරම්භ කර තිබේ.

ලොව පුරා වසරකට ආසියානු සහ අප්‍රිකානු වන අලින් 2,000කට ආසන්න සංඛ්‍යාවක් මිනිස් ක්‍රියාකාරකම් නිසා මිය යන අතර, ඉන් 400කට වැඩි ප්‍රමාණයක් වාර්තා වන්නේ ශ්‍රී ලංකාවෙනි. එය ගෝලීය අලි මරණවලින් 20%කට ආසන්න අගයකි. එමෙන්ම මෙරට වසරකට මිනිස් ජීවිත 120කට අධික සංඛ්‍යාවක්ද අලි ප්‍රහාරවලින් අහිමි වේ.

දශක ගණනාවක් පැවැති තාවකාලික පැලැස්තර විසඳුම් වෙනුවට, ජනාධිපතිතුමාගේ සෘජු උපදෙස් මත පරිසර අමාත්‍යාංශය ප්‍රමුඛ ආයතන එක්ව ස්ථිර, විද්‍යාත්මක විසඳුම් ක්‍රියාවට නංවා ඇත.

ඒ අනුව අලි-මිනිස් සහජීවනය තහවුරු කරමින් හම්බන්තොට සහ මොණරාගල කේන්ද්‍ර කරගනිමින් වැටහිරකන්ද, හදපානාගල සහ කොහොලංකල යන අලි මංකඩවල් තුන නිල වශයෙන් ගැසට් පත්‍රයක් මගින් ප්‍රකාශයට පත්කර අවසන් අතර, අනුරාධපුර දිස්ත්‍රික්කයේ අලි මංකඩවල් නිදහස් කිරීමේ කටයුතු ද මේ වන විට වේගවත් කර තිබේ.

Share.
Leave A Reply