– අඟුරුවාතොට ව්‍යාපාරිකයෙකුගෙන් ජාතික පොලිස් කොමිෂන් සභාවට හා මානව හිමිකම් සංවිධානයට පැමිණිල්ලක්

තමන් සතුව නොතිබූ ගිනි අවියක් සම්බන්ධ කරමින් අසත්‍ය චෝදනා මත අධිකරණයට ඉදිරිපත් කර බන්ධනාගාරගත කිරීමෙන් නොනැවතී, පාසල් යන වයසේ පසුවන පුතණුවන් බලහත්කාරයෙන් පැහැරගෙන ගොස් බියගන්වා, නිවසට බෝම්බ හා ගිනි අවි දමා මුළු පවුලම සදහටම සිරගත කරන බවට කළුතර කටුකුරුන්ද පොලිස් විමර්ශන අංශයේ ස්ථානාධිපතිවරයා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් තර්ජනය කරන බවට චෝදනා කරමින් අඟුරුවාතොට ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකු විසින් ජාතික පොලිස් කොමිෂන් සභාව හමුවේ පැමිණිල්ලක් ගොනු කර ඇත.

අඟුරුවාතොට, උඩුවර, දෙල්ගොඩ නො. 29/ඒ.1 ලිපිනයේ පදිංචි ගුනෙත්ති රවී ජනක සිල්වා නැමැති ව්‍යාපාරිකයා විසින් ජාතික පොලිස් කොමිෂන් සභාවේ සභාපතිවරයා වෙත යොමු කරන ලද අතිශය සංවේදී පැමිණිල්ලකින් මෙම බරපතල අනාවරණය සිදු කර තිබේ.

නැති තුවක්කුවකට බන්ධනාගාරගත කිරීම

පැමිණිලිකාර ව්‍යාපාරිකයා සඳහන් කරන්නේ කළුතර කටුකුරුන්දේ පිහිටි පොලිස් විමර්ශන අංශය විසින් මතුගම අධිකරණයේ B.R. 185/2024 යන නඩු අංකය යටතේ තමන් සතුව කිසිදු දිනෙක නොතිබූ ගිනි අවියක් සම්බන්ධ කරමින් අසත්‍ය නඩුවක් පවරා තමන්ව අδικාර්මික ලෙස බන්ධනාගාරගත කළ බවයි. එකී අසත්‍ය චෝදනාවලට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගනිමින් දැනට තමන් ඇප මත නිදහස්ව සිටින බවද හෙතෙම පවසයි.

පාසල් දරුවා පොලිස් රථයෙන් පැහැරගෙන යාම

සිද්ධියේ බරපතලම තත්ත්වය වාර්තා වන්නේ පසුගිය 2026 ජූලි 31 වන දිනයි. එදින කටුකුරුන්ද පොලිස් විමර්ශන අංශයේ ස්ථානාධිපති කාන් වීරසිංහ මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් ව්‍යාපාරිකයාගේ නිවසට කඩා වැදී ඇති අතර, නිවසේ සිටි අධ්‍යාපනය ලබන බාලවයස්කාර පුතණුවන් බලහත්කාරයෙන් පොලිස් රථයට දමාගෙන රැගෙන ගොස් තිබේ. දිනකට ආසන්න කාලයක් අදාළ දරුවා පොලිස් භාරයේ රඳවාගෙන සිට පසුව නැවත නිවසට ගෙනවිත් දමා ඇති බව පැමිණිල්ලේ සඳහන් වේ.

“බෝම්බ දමා සදහටම හිරේ අරිනවා” – OIC ගෙන් තර්ජන

එපමණක් නොව, එදින නිවසට පැමිණි පොලිස් ස්ථානාධිපති කාන් වීරසිංහ ඇතුළු නිලධාරීන් පිරිස තමන්ගේ බිරිඳට කුණුහරපයෙන් බැන වැදී අතිශය තර්ජනාත්මක ලෙස හැසිරී ඇති බවත්, ඉදිරියේදී නිවසට බෝම්බයක් සහ ගිනි අවියක් ගෙනවිත් දමා ව්‍යාපාරිකයාව සදහටම සිරගත කරන බවට පවසා තර්ජනය කළ බවත් පැමිණිල්ලේ දැක්වේ.

තමන්ට හා පවුලේ සැමට පොලිසියෙන් සිදුවන මෙම අමානුෂික හා නීති විරෝධී හිරිහැර සම්බන්ධයෙන් වහාම ක්‍රියාත්මක වන පරිදි විධිමත් හා අපක්ෂපාතී පරීක්ෂණයක් පවත්වා අදාළ පොලිස් නිලධාරීන්ට එරෙහිව තදින්ම නීතිය ක්‍රියාත්මක කරන ලෙස ව්‍යාපාරිකයා පොලිස් කොමිෂන් සභාවෙන් ඉල්ලා සිටියි.

අනු පිටපත් යැවූ ආයතන:

නියෝජ්‍ය පොලිස්පති, පොලිස්පති කාර්යාලය, කළුතර උතුර

සභාපති, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධානය, කොළඹ

Share.
Leave A Reply