රක්ෂිත අල්ලන අයට වැට බැඳෙයි! අලි මංකඩ නිදහස් කර අලි සුපෝෂණ කලාප හදන නව ජාතික මෙහෙයුම ඇරඹේ.
දශක ගණනාවක් තිස්සේ ඇදී යන අලි – මිනිස් ගැටුමට තිරසාර සහ විද්‍යාත්මක විසඳුම් සෙවීමේ ජාතික මෙහෙයුම පරිසර අමාත්‍යාංශය මගින් නිල වශයෙන් ආරම්භ කර තිබේ.
ඊට අදාළ විශේෂ අධීක්ෂණ කමිටු සාකච්ඡාව පරිසර අමාත්‍ය වෛද්‍ය දම්මික පටබැඳි මහතාගේ සහ පරිසර නියෝජ්‍ය අමාත්‍ය ඇන්ටන් ජයකොඩි මහතාගේ ප්‍රධානත්වයෙන් අද (04) පස්වරුවේ පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැත්විණි.
මෙම නව වැඩපිළිවෙළේ විශේෂතා:
@ ප්‍රජා සහභාගීත්වය: ගැටලුවෙන් බැටකන ජනතාවගේද සහභාගීත්වයෙන් ප්‍රායෝගික විසඳුම් සැකසීම.
@ අලි මංකඩ නිදහස් කිරීම: අක්‍රමවත් සංවර්ධනය නිසා අවහිර වූ අලින්ගේ සාම්ප්‍රදායික ගමන් මාර්ග නැවත නිදහස් කිරීම.
@ වනස්පති ජාතික වැඩසටහන: වනාන්තර පද්ධතිය ආරක්ෂා කරමින් අලින් සඳහා සුපෝෂණ කලාප නිර්මාණය කිරීම.
@ නීතිය තදින්ම: අලි කළමනාකරණ රක්ෂිතවලට අදාළ නීති හා රෙගුලාසි තදින්ම බලාත්මක කිරීම සහ වනජීවී දෙපාර්තමේන්තුවේ මානව/භෞතික සම්පත් ඉහළ නැංවීම.
“හුදෙක් ක්ෂණික පැලැස්තර විසඳුම්වලින් ඔබ්බට යමින්, මිනිසාට මෙන්ම වනජීවීන්ටද එකසේ සුරක්ෂිතව ජීවත් විය හැකි පාරිසරික සහජීවනයක් උදාකිරීම රජයේ ප්‍රධාන අරමුණයි.”
ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවැති සාකච්ඡාවලින් අනතුරුව, 2020 පැරණි සැලැස්ම වෙනුවට ගතවූ වසර 5 තුළ සිදු වූ භූගෝලීය හා පාරිසරික වෙනස්කම්වලට ගැලපෙන පරිදි විද්වත් කමිටුවක් හරහා මෙම නව යාවත්කාලීන සැලැස්ම සකස් කෙරේ.
මෙම සාකච්ඡාව සඳහා අලි-මිනිස් ගැටුම බහුල දිස්ත්‍රික්ක නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, පරිසර අමාත්‍යාංශ ලේකම් කේ. ආර්. උඩුවාවල මහතා ඇතුළු දිස්ත්‍රික් ලේකම්වරුන්, ප්‍රාදේශීය ලේකම්වරුන් සහ වනජීවී/වනසංරක්ෂණ දෙපාර්තමේන්තුවල ජ්‍යෙෂ්ඨ නිලධාරීහු එක්වූහ.

