සමගි ජන බලවේගයේ යෝජනාව අද කතානායකට

ශ්‍රී ලංකා අධිකරණ පද්ධතිය තුළ මේ වන විට නඩු මිලියන 1.1ක් (ලක්ෂ 11ක්) වැනි අතිවිශාල සංඛ්‍යාවක් ගොඩගැසී පැවතීම හේතුවෙන් ජනතාව මුහුණ දෙන දැඩි අර්බුදයට වහා විසඳුම් සෙවීම සඳහා පාර්ලිමේන්තු විශේෂ තේරීම් කාරක සභාවක් පත් කරන ලෙස ඉල්ලා සමගි ජන බලවේගය (SJB) යෝජනාවක් ඉදිරිපත් කර සිටියි.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ මූලිකත්වයෙන් සකස් කළ මෙම විශේෂ යෝජනාව සඳහා සමගි ජන බලවේගයේ මන්ත්‍රී කණ්ඩායම අත්සන් තබා ඇති අතර, එම යෝජනාව අද (04) පාර්ලිමේන්තුවේදී කතානායකවරයා වෙත නිල වශයෙන් භාර දීමට නියමිතව තිබේ.

අධිකරණ අමාත්‍යාංශයේ නවතම දත්ත පෙන්වා දෙන්නේ වසර ගණනාවක් තිස්සේ විසඳා ගැනීමට නොහැකි වූ නඩු කටයුතු ප්‍රමාණය අසාමාන්‍ය ලෙස ඉහළ ගොස් ඇති බවයි. මෙම තත්ත්වය හමුවේ මහජනතාවට සාධාරණය ඉටුවීමේ ක්‍රියාවලිය දැඩි ලෙස ප්‍රමාද වන බවත්, ඊට කඩිනම් හා විධිමත් පියවර සමුච්චයක් අවශ්‍ය බවත් විපක්ෂය පෙන්වා දෙයි.

ගොඩගැසී ඇති නඩු කටයුතු කඩිනම් කිරීම සඳහා අවශ්‍ය නීතිමය, ව්‍යුහාත්මක සහ තාක්ෂණික යෝජනා ලබා ගැනීම අදාළ තේරීම් කාරක සභාව පිහිටුවීමේ ප්‍රධාන අරමුණ වී ඇත.  

Share.
Leave A Reply