රාජ්‍ය සේවයේ දේශපාලනීකරණයට සහ සේවා දිගුවලට එරෙහිව විපක්‍ෂය එක පෙළට රට හරහට -සජබ මහ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාරගෙන් ප්‍රබල අවවාදයක්!

කොළඹ සමගි ජන බලවේග ප්‍රධාන කාර්යාලයේ සිට….

ආණ්ඩුවේ ඒකාධිපති ගමනට සහ අධිකරණයේ ස්වාධීනත්වය කෙලෙසීමට එරෙහිව සමස්ත විපක්‍ෂයම මේ වන විට එකමුතු වී ඇති බවත්, අධිකරණය දේශපාලනීකරණය කිරීමට උත්සාහ කළහොත් අනුර දිසානායක ජනාධිපතිවරයාගේ ආණ්ඩුවටද ඉක්මනින්ම ගෙදර යාමට සිදුවන බවත් සමගි ජන බලවේගයේ මහ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා අවධාරණය කරයි.

අද (24) පැවැති විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මෙසේද කීය.

ඒකාධිපතිවාදයට එරෙහිව විපක්‍ෂයේ දැවැන්ත එකමුතුව:

ආණ්ඩුවේ ජනප්‍රසාදය සීඝ්‍රයෙන් පිරිහෙමින් පවතින බැවින් ආණ්ඩුව ඒකාධිපති ගමනක් යෑමට උත්සාහ කරන බවත්, ප්‍රජාතන්ත්‍රවාදය හා නීතියේ ආධිපත්‍යය සුරැකීමට විපක්‍ෂයේ සියලු දේශපාලන පක්‍ෂ විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වටා රොද බැඳ ඇති බවත් පැවසීය.

රාජ්‍ය සේවය හා අධිකරණය බලපෑම්වලට ලක්කිරීම:

ආරක්‍ෂක, මහජන ආරක්‍ෂක, මුදල් යන අමාත්‍යාංශවල ලේකම්වරුන් ඇතුළු කොමිසන් සභා හා ප්‍රාදේශීය ලේකම් කාර්යාල දක්වා JVP දේශපාලන හිතවාදීන් පත්කරමින් රාජ්‍ය සේවය දැඩි ලෙස දේශපාලනීකරණය කරමින් සිටින බවට චෝදනා කළේය. එසේම අධිකරණයේ ස්වාධීනත්වයට අතපෙවීමට එරෙහිව නීතිඥ සංගම් ඇතුළු පාර්ශ්ව රැසක් නැගී සිටින බවද මතක් කර දුන්නේය.

තරුණ අයිතීන් පාවාදෙන ‘සේවා දිගු’:

තමන්ට හිතවත් පුද්ගලයන්ට සේවා දිගු ලබාදීමට ආණ්ඩුව ගන්නා උත්සාහයන්ට විපක්‍ෂය කිසිසේත්ම ඉඩ නොදෙන බවත්, මෙවැනි ක්‍රියා හේතුවෙන් රටේ උගත් තරුණ තරුණියන්ගේ රැකියා අපේක්ෂා භංගත්වයට පත්ව ඇති බවත් පෙන්වා දුන්නේය.

හොර අල්ලන බව කී අයට මතක් කළ ‘පරණ ගොනු’:

දැනට දූෂිතයන්ට දඬුවම් ලැබී ඇත්තේ යහපාලන සමයේ ගොනුකළ නඩුවලට පමණක් බවත්, විපක්‍ෂයේ සිටියදී පෙන්වූ “ලිපිගොනු” සම්බන්ධයෙන් එකදු නඩුවක්වත් ගොනුකිරීමට වත්මන් ආණ්ඩුව අසමත් වී ඇති බවත් පැවසීය. ගල් අඟුරු, බහලුම් සහ මහ භාණ්ඩාගාරයේ සිදුවීම්වලට චෝදනා ලැබූවන් ආරක්ෂා කරමින් ආණ්ඩුව දූෂණයට අනුබල දෙන බවටද චෝදනා කළේය.

“බොරු ගණන් තියාගෙන රඟපාන්නේ නැතුව මැතිවරණයකට එන්න!”

ආණ්ඩුව පවසන ජනප්‍රසාද සංඛ්‍යාලේඛන (ජනාධිපතිට 75% + සජිත්ට 29% = 104%) සපත කරමින් ආණ්ඩුවට හරියට බොරුවක්වත් කියාගැනීමට නොහැකි වී ඇති බවත්, ආණ්ඩුවට සැබවින්ම ජනප්‍රසාදයක් තිබේ නම් වහාම පළාත් සභා මැතිවරණය පවත්වන ලෙසත් මද්දුම බණ්ඩාර මහතා ආණ්ඩුවට අභියෝග කළේය.

Share.
Leave A Reply