“පොදු දේපළ පනත යටතේ අත්අඩංගුවට ගන්න අල්ලස් කොමිසමට යවනවා” – ගම්මන්පිලගෙන් ප්‍රබල හෙළිදරව්වක්!

පාර්ලිමේන්තුවේ කථානායක ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව එල්ල වී ඇති බරපතළ දූෂණ සහ බලතල අවභාවිත කිරීමේ චෝදනා 10ක් සාක්ෂි සහිතව තහවුරු කෙරෙන පාර්ලිමේන්තුවේ අභ්‍යන්තර විමර්ශන වාර්තාවක් තමා සතුව පවතින බවත්, ඉදිරි සතියේදී එම වාර්තාව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට භාරදීමට කටයුතු කරන බවත් පිවිතුරු හෙළ උරුමයේ නායක, නීතිඥ උදය ගම්මන්පිල මහතා අද (20) පැවැති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළේය.

මෙම වාර්තාව පදනම් කරගනිමින් පොදු දේපළ පනත යටතේ කථානායකවරයා අත්අඩංගුවට ගැනීමේ හැකියාව පවතින බවත්, ඒ අනුව ධුරයේ සිටියදීම අත්අඩංගුවට පත්වන ශ්‍රී ලංකා ඉතිහාසයේ පළමු කථානායකවරයා බවට ඔහු පත්වනු ඇති බවත් ගම්මන්පිල මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

වාර්තාවෙන් හෙළි වූ ප්‍රධාන චෝදනා 10:

දෙවන නිල නිවසක් අවභාවිත කිරීම: ප්‍රධාන නිල නිවස මහජන මුදලින් නඩත්තු වෙද්දී, ලෝරිස් පාරේ පිහිටි තවත් රජයේ නිල නිවසක් නීති විරෝධී ලෙස භාවිත කිරීම.

සේවය නොගන්නා පිරිසකට ලක්ෂ 7 1/2ක වැටුප්: නිල නිවසේ පදිංචිව නොසිටිමින්ම අටදෙනෙකුගෙන් යුත් කාර්ය මණ්ඩලයක් පත්කර මාසිකව රුපියල් 760,000ක වැටුප් ගෙවීම.

වයස්ගත පුද්ගලයන්ට පත්වීම් දීම: 71 කැරැල්ලට සම්බන්ධ වූවන්ට කළගුණ සැලකීමක් ලෙස වයස අවුරුදු 73ක පුද්ගලයෙකු ‘කාමර සහායක’ (Room Boy) ලෙසත්, 68ක පුද්ගලයෙකු ‘උද්‍යාන අධීක්ෂක’ ලෙසත් පත් කිරීම.

නීති විරෝධී ලෙස පර්යේෂණ මධ්‍යස්ථානයක් කිරීම: අමාත්‍ය මණ්ඩල අනුමැතියකින් තොරව නිල නිවස පර්යේෂණ මධ්‍යස්ථානයක් කිරීමට තීරණය කිරීම.

පෞද්ගලික ලේකම්ට රජයේ නිල නිවසක් දීම: අමාත්‍යාංශ ලේකම්වරුන්ට වෙන් කර ඇති ලෝරිස් මාවතේ නිල නිවසක් තම පෞද්ගලික ලේකම්වරයාට ලබාදීම.

නිල නිවසේ දේපළ පෞද්ගලිකව භාවිතය: නිල නිවසේ ඇඳ ඇතිරිලි, තුවා ආදිය තමන් සිටින ගෙදරට ගෙනගොස් භාවිත කර, කිලිටි වූ පසු මහජන මුදලින් හෝදවා ගැනීමට නැවත නිල නිවසට ගෙන ඒම.

පටිපාටියෙන් බැහැරව AC අලුත්වැඩියාව: සම්මත ක්‍රියාපටිපාටියෙන් බැහැරව පාර්ලිමේන්තු නිලධාරීන් යොදවා නිල නිවසේ වායුසමීකරණ යන්ත්‍ර අලුත්වැඩියා කිරීම.

නොමැති මාධ්‍ය අංශයකට වෑන් රථයක්: කථානායකවරයාට මාධ්‍ය අංශයක් නොමැති අතරතුර, පාර්ලිමේන්තු වාහන ඇණියෙන් වෑන් රථයක් (NC 49 23) වෙන්කර ගැනීම.

මාධ්‍ය උපකරණ ලබාගැනීම සහ අනුමැතිය ඉල්ලීම: අදාළ නැති මාධ්‍ය අංශයට කැමරා ලබාගෙන, කළමනාකාර සහකාරවරුන් ලවා ඒවා භාවිත කිරීම සහ එම පත්වීම් විධිමත් කිරීමට අගමැති, මුදල් අමාත්‍යාංශය සහ ජනාධිපති ලවා අනුමැතිය ගැනීමට උත්සාහ කිරීම.

දෙගුණයක් ඉන්ධන දීමනා ලබාගැනීම: ඇමති/කථානායක ඉන්ධන දීමනාවට අමතරව පොළොන්නරුව මන්ත්‍රී ඉන්ධන දීමනාව යන දෙකම වංචනිකව ලබාගැනීම.

CPA ජනමත සමීක්ෂණය අසත්‍ය එකක්!මේ අතර, විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය (CPA) විසින් ජනාධිපතිවරයාගේ ජනප්‍රියතාවය 75% දක්වා ඉහළ ගොස් ඇති බවට නිකුත් කර ඇති වාර්තාව සම්පූර්ණයෙන්ම අසත්‍ය එකක් බවද ගම්මන්පිල මහතා මෙහිදී පැවසීය.

2025 මැයි පැවැති පළාත් පාලන මැතිවරණයේදී ආණ්ඩුවේ ඡන්ද ප්‍රතිශතය 43% දක්වා පහත වැටී තිබියදීත්, රටේ පවතින දැඩි භාණ්ඩ හිඟය සහ ආර්ථික පීඩනය හමුවේ ජනගහනයෙන් 82%ක්ම තමන්ගේ ආර්ථිකය යහපත් නැති බව පවසද්දී මෙවැනි ජනප්‍රියතාවක් පැවැතිය නොහැකි බවත්, පුද්ගලයන් 1,240ක කුඩා නියැදියක් යොදාගනිමින් සකස් කළ මෙම NGO වාර්තාව ආණ්ඩුව ගොනාට ඇන්දවීමට කරන ලද උත්සාහයක් බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

Share.
Leave A Reply