ලක්ෂ 3ක ගුරුවරුන් සහ රාජ්‍ය නිලධාරීන් 3000ක් හදිසි සේවයට: රට පුරා ස්වයංපෝෂිත නීල-හරිත ගම්මාන 10,000ක් හැදීමේ සටන ඇරඹේ!
වැව් 35,000ක් ලෑස්ති කෙරේ; ගම්මාන 10,000ක් ස්වයංපෝෂිතයි; 341ක් හෙළ වෙද මැදුරු ජනතා අයිතියට!
ලෝකය වෙළාගනිමින් පවතින 3 වන ලෝක යුද අවදානම හා එල්නිනෝ දේශගුණික ව්‍යසන සහ වෛරස ව්‍යාප්තිය හමුවේ ශ්‍රී ලංකාව දැඩි ආහාර හා ඖෂධ හිඟයකින් බේරාගැනීමේ හදිසි ජාතික සැලැස්මක් රටට හා ආණ්ඩුවේ පාලකයන්ට ඉදිරිපත් කරන බව ජනතා පාර්ලිමේන්තු කණ්ඩායමේ ලේකම් උපාලි චන්ද්‍රසිරි මහතා රතු ඉර ඉරිදා ජාතික පුවත් පතට ප්‍රකාශ කළේය.
මේ අනුව රට පුරා දසදහස් ගණනින් ජනතාව මියයාම වැළැක්වීම සඳහා රජය වහාම ක්‍රියාත්මක වී 300,000කට අධික ගුරුවරුන්, මහාචාර්යවරුන් සහ 3,000කට අධික රාජ්‍ය පරිපාලන නිලධාරීන් මෙහෙයවා රට තුළ හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කළ යුතු බව ඔහු සදහන් කළේ ය.
දේශගුණික අර්බුදයට මුහුණ දීම සඳහා දිවයිනේ පැරණි වැව් 35,000ම වහාම ප්‍රතිසංස්කරණය කිරීමටත්, සක්‍රීය ජල මූලාශ්‍ර 10,000ක් කේන්ද්‍ර කරගනිමින් ‘ස්වයංපෝෂිත නීල-හරිත ගම්මාන 10,000ක්’ බිහිකිරීමටත් රජය කටයුතු කළ යුතු බව ද ඔහු කීය.
බටහිර ඖෂධ හිඟයට පිළියම් ලෙස සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයකටම එක බැඟින් සියලු පහසුකම් සහිත ‘හෙළ වෙද මැදුරු 341ක්’ වහාම පිහිටුවීමට කටයුතු කළ යුතු බව ද ඔහු සඳහන් කළේ ය.
සෑම නිවසක්ම ආහාර,ජීව වායුව සහ සූර්ය බලශක්තියෙන් ස්වයංපෝෂිත කරමින්, 100%ක නොබැඳි විදේශ ප්‍රතිපත්තියක් මත රට මෙහෙයවිය යුතු බව පෙන්වා දෙන ලේකම්වරයා, බලලෝභී දේශපාලන පක්ෂ ප්‍රතික්ෂේප කරමින් මිලියන 22ක ජනතාව තමන් සතු පරමාධිපත්‍ය බලය පෙරදැරිව එක පෙළට පෙළගැසිය යුතු බවත් ප්‍රකාශ කළේය.

