2026 ජූලි 05 සහ 06 යන දිනවල සිදුවූ මෙම ශෝකජනක සිදුවීමට අදාළව ප්‍රශ්නගත කරුණු 14ක් ඇතුළත් කරමින් මෙම පැමිණිල්ල ඉදිරිපත් කර ඇත.
පැමිණිල්ලෙන් අනාවරණය වන ප්‍රධාන තොරතුරු සහ ප්‍රශ්න:සිදුවීමට මුල් වූ සැබෑ හේතුව: බන්ධනාගාර පරිපාලනය මෙය මත්ද්‍රව්‍ය ආරවුලක් ලෙස හුවාදැක්වීමට උත්සාහ කළද, ගැටුමට මුල් වී ඇත්තේ “කටුවැල්ලේගම සුරේෂ්” නැමැති රැඳවියාට ව්‍යායාම සඳහා ලබාදුන් කාලය ප්‍රමාණවත් නොවීම මත නිලධාරියෙකු සමඟ ඇති වූ බහින්බස් වීමක් බව CIDය අධිකරණයට වාර්තා කර ඇත.
අධික තදබදය සහ පීඩනය: 800ක් රැඳවිය හැකි පරිශ්‍රයක 2400කට අධික පිරිසක් රඳවා තබමින්, එක්සත් ජාතීන්ගේ ‘නෙල්සන් මැන්ඩෙලා නීති’ උල්ලංඝනය කරමින් රැඳවියන් දැඩි පීඩනයකට ලක්කර තිබේ. සිවිල් ඇඳුමින් පැමිණි පිරිසකගේ මැදිහත්වීම: ජූලි 5 වනදා තත්ත්වය සාමකාමී කර තිබියදී, ජූලි 06 වනදා වැලිකඩ බන්ධනාගාර මූලස්ථානයේ සිට සිවිල් ඇඳුමින් සැරසුණු “හදිසි උපක්‍රමික ප්‍රතිචාර ඒකකයේ” පිරිසක් ඇතුළු කර ජලය නතර කරමින් පහරදීම් සිදුකර තත්ත්වය ප්‍රකෝප කර ඇති බවට චෝදනා නැඟේ. අත්තනෝමතික වෙඩි තැබීම: ප්‍රධාන දොරටුවේ කවුළුවෙන් කිසිදු උසස් නිලධාරියෙකුගේ අණක් නොමැතිව අත්තනෝමතික ලෙස වෙඩි තබා ඇත.
එම අවස්ථාවේදී STF නිලධාරියෙකු එය වැළැක්වීමට උත්සාහ කරන ආකාරය වීඩියෝ දර්ශනවල පවා සටහන් වී තිබේ. “වේරගොඩ සර්” පිළිබඳ හෙළිදරව්ව: වෙනත් බන්ධනාගාර වෙත මාරු කෙරුණු රැඳවියන් මාධ්‍ය හමුවේ ප්‍රකාශ කර ඇත්තේ “වේරගොඩ සර් තමයි ඔක්කොටම වෙඩි තිබ්බේ” යනුවෙනි. මෙම නිලධාරියා කවුදැයි වහාම හඳුනාගෙන විමර්ශනය කළ යුතු බව පැමිණිල්ලේ සඳහන් වේ. පොලිසියේ සත්‍ය නොවන නඩු (Fabricated Cases): බන්ධනාගාර තදබදයට මුල් වූ මූලික හේතුවක් ලෙස, පොලිසිය විසින් විෂ මත්ද්‍රව්‍ය ආඥා පනතේ 54 වගන්තිය අවභාවිත කරමින්, අත්තනෝමතික ලෙස ව්‍යාජ නඩු දමා (රැපියුස් නඩු) ජනතාව සිරගත කිරීම පිළිබඳවද පුළුල් විමර්ශනයක් ඉල්ලා ඇත.
නීතිමය පියවර සහ ජාත්‍යන්තර අවධානය:මෙම සමූහ ඝාතනය ශ්‍රී ලංකා දණ්ඩ නීති සංග්‍රහය (293, 294, 298 වගන්ති), ICCPR පනත සහ OPCAT (වදහිංසා විරෝධී සම්මුතිය) බරපතල ලෙස උල්ලංඝනය කිරීමක් බව පෙන්වා දී ඇත. එක්සත් ජාතීන්ගේ සංවිධානය (UN) ඇතුළු ජාත්‍යන්තර ප්‍රජාව සහ තානාපති කාර්යාල මේ දෙස සමීපව බලමින් සිටින බැවින්, වගකිවයුතු සියලුම බන්ධනාගාර උසස් නිලධාරීන් සහ වෙඩි තැබූ පුද්ගලයන් වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස පැමිණිලිකරුවෝ බලකර සිටිති.
(මෙම පැමිණිල්ලේ පිටපත් ජනාධිපතිතුමා, එක්සත් ජාතීන්ගේ සංවිධානය, විදේශ තානාපති කාර්යාල, මහා නායක හිමිවරුන් සහ මාධ්‍ය ආයතන වෙතද යොමු කර ඇත.)

