වත්මන් රජය ජනතාවට දුන් පොරොන්දු අමතක කර, රට ඒකාධිපති ආඥාදායක පාලනයක් කරා ගෙනයමින් සිටින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි. මහාමාන්‍ය ඩී.එස්.සේනානායක දේශපාලන විද්‍යා පීඨයේ පැවැති වැඩමුළුවක් අමතමින් ඒ මහතා පෙන්වා දුන් ප්‍රධාන කරුණු 04 මෙන්න:

භාෂණයේ නිදහස අමු අමුවේ උල්ලංඝනය කිරීම!

මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත සහ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත තවමත් ක්‍රියාත්මකයි.

අද වන විට පාර්ලිමේන්තුවේ සහ එහි කමිටුවල පවා මහජන ගැටලු කතා කිරීමේ අයිතිය විපක්ෂයට අහිමි කර ඇත.

ගොවියා ණයකාරයෙක් කළ රු. 17ක පාඩුව!

මැතිවරණ සමයේ වී කිලෝවකට රු. 150ක සහතික මිලක් දෙන බව කීවත්, අද මිල රු. 120ටත් වඩා අඩුය.

වී කිලෝවක් නිෂ්පාදනයට රු. 137ක් යන පසුබිමක, ගොවියාගේ කරපිටින් බලයට ආ ආණ්ඩුව අද ගොවියාට එක කිලෝවකින් රු. 17ක අලාභයක් සිදුකර ඇත.

සහන සියල්ල සුපිරි ධනපතියන්ට පමණයි!

රටේ දළ දේශීය නිෂ්පාදනයට 52%ක් දායක වන ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්ගේ ‘පරාටේ නීතිය’ මැතිවරණ ඉලක්ක කරගෙන අහෝසි කළත්, ඔවුන්ට කිසිදු ප්‍රාග්ධන සහනයක් ලැබී නැත.

ආණ්ඩුවේ සියලු සහන ගලා යන්නේ සුපිරි බිලියනපතියන්ට මිස ගමේ, වතුකරයේ හෝ මැද පන්තියේ ජනතාවට නොවේ.

අධිකරණයේ ස්වාධීනත්වයට බලපෑම් සහ ඒකාධිපති ගමන!

ව්‍යවස්ථාදායකය, විධායකය, අධිකරණය සහ නිදහස් මාධ්‍ය යටපත් කරමින් රට ඒකාධිපති පාලනයකට තල්ලු කිරීමට උත්සාහ කරයි.

උපරිමාධිකරණ විනිසුරුවන් පත් නොකර, විශ්‍රාම යන වයස වෙනස් කරමින් අධිකරණයට බලපෑම් කිරීමට එරෙහිව සමගි ජන බලවේගය පෙරමුණ ගනී.

“අඩුපාඩු තිබුණත් රට ගොඩනගන නිවැරදි මාවතේ යන්නේ සමගි ජන බලවේගය පමණයි!”

Share.
Leave A Reply