කස්සප හිමි ඇතුළු පිරිස අත්අඩංගුවට ගැනීම නව වැනි ව්‍යවස්ථාවට පටහැනියි; පොලිසියේ ක්‍රියාව ගැන නීතිඥවරුන්ගෙන් අධිකරණයට ලිඛිත දේශනයක්!
විශේෂ වාර්තාකරුවකු විසිනි
ත්‍රිකුණාමලය: ත්‍රිකුණාමල අධිකරණ භූමියේදී ශ්‍රී ලංකා පොලිසිය විසින් බුද්ධ ප්‍රතිමා වහන්සේ නමක පැහැරගෙන යාමේ සිදුවීමට අදාළ නඩුව ඊයේ (08දා) කැඳවූ අවස්ථාවේදී අධිකරණය හමුවේ දැඩි නීතිමය තර්ක විතර්ක මතු වීමත් සමඟ නඩු විභාගය දැඩි උණුසුම් මුහුණුවරක් ගත්තේය.
මෙහිදී පූජ්‍ය බලංගොඩ කස්සප ස්වාමීන් වහන්සේ වෙනුවෙන් පෙනී සිටි ශ්‍රේෂ්ඨාධිකරණ නීතීඥ නිශ්ශංක ක්‍රිශාන්ත මහතා විසින් විශේෂ ලිඛිත දේශනයක් අධිකරණයට ඉදිරිපත් කරනු ලැබීය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නව වන ව්‍යවස්ථාව ප්‍රකාරව බුද්ධාගමට හිමි ප්‍රමුඛස්ථානය ආරක්ෂා කිරීම සහ පෝෂණය කිරීම රජයේ වගකීමක් වන පසුබිමක, බලංගොඩ කස්සප ස්වාමීන් වහන්සේ ඇතුළු බෞද්ධයන් පිරිස අත්අඩංගුවට ගැනීම සම්පූර්ණයෙන්ම නීති විරෝධී සහ ව්‍යවස්ථා විරෝධී ක්‍රියාවක් බව නීතිඥවරයා එහිදී පෙන්වා දුන්නේය.
එමෙන්ම, මෙම සමස්ත සිදුවීමට අදාළ නඩුව විභාග කිරීමේ නීත්‍යානුකූල බලය (Jurisdiction) ත්‍රිකුණාමල මහේස්ත්‍රාත් අධිකරණය සතුව පවතින්නේද යන්න පිළිබඳවද ශ්‍රේෂ්ඨාධිකරණ නීතීඥවරයා එහිදී දැඩි ලෙස ප්‍රශ්න කර සිටියේය.
සෙසු සැකකරුවන්ද එකම ස්ථාවරයක මෙම සිදුවීමට අදාළව නම් කර ඇති සිංහල සංවිධාන එකමුතුවේ කැඳවුම්කරු දුලාර ගුණතිලක මහතා ඇතුළු සෙසු සැකකරුවන්ද පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඉදිරිපත් කළ මෙම නීතිමය ස්ථාවරයේම පසුවන්නේද යන්න පිළිබඳව මෙහිදී මහේස්ත්‍රාත්වරයා විසින් විවෘත අධිකරණයේදී විමසා සිටිනු ලැබීය.
ඊට පිළිතුරු දෙමින් දුලාර ගුණතිලක මහතා ඇතුළු සෙසු සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥ සංජීව විජයවික්‍රම මහතා ප්‍රකාශ කළේ, තම සේවාදායකයන් ද පූජ්‍ය බලංගොඩ කස්සප ස්වාමීන් වහන්සේ සහ උන්වහන්සේගේ නීතිඥ මණ්ඩලය ගත් ස්ථාවරය අකුරටම අනුගමනය කරමින් කටයුතු කරන බවයි. පොලිසියේ අත්තනෝමතික ක්‍රියාකලාපය හමුවේ සැකකරුවන් සියලු දෙනා එකම නීතිමය ස්ථාවරයක සිටින බවද ඔහු අවධාරණය කළේය.
අධිකරණ කටයුතු අවසානයේදී ශ්‍රේෂ්ඨාධිකරණ නීතීඥ නිශ්ශංක ක්‍රිශාන්ත මහතා සහ නීතීඥ සංජීව විජයවික්‍රම මහතා මාධ්‍ය වෙත අදහස් දක්වමින්, පොලිසිය විසින් සිදුකර ඇති මෙම ව්‍යවස්ථා විරෝධී මැදිහත්වීම සහ ඉදිරි නීතිමය පියවර පිළිබඳව වැඩිදුරටත් කරුණු පැහැදිලි කළහ.

