මීගමුව බන්ධනාගාරයේ ඇති වූ ගැටුම්කාරී තත්ත්වය, වත්මන් රජය අපහසුතාවයට පත් කිරීම සඳහා පරාජිත, ස්වයංවාදී දේශපාලනඥයන් පිරිසක් විසින් මෙහෙයවන ලද කුමන්ත්‍රණයක ප්‍රතිඵලයක්ද යන බරපතළ සැකය මතු වන බව ධීවර, ජලජ සහ සාගර සම්පත් අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් මහතා පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කරමින් කියා සිටියේය.

වත්මන් පාලනය යටතේ මෙවැනි සිදුවීම් කිසිසේත්ම අනුමත නොකරන බවත්, ඉදිරියට මෙවැනි තත්ත්වයන් ඇති වීම වැළැක්වීම සඳහා රජය දැඩි ක්‍රියාමාර්ග ගන්නා බවත් අමාත්‍යවරයා අවධාරණය කළේය.

1983 වැලිකඩ ඝාතන ඉතිහාසය සිහිපත් කිරීම

මෙහිදී අතීත දේශපාලන කළු පැල්ලම් සිහිපත් කළ අමාත්‍යවරයා, 1983 වසරේදී කුට්ටිමනී ඇතුළු දෙමළ සිරකරුවන් 53 දෙනෙකු බන්ධනාගාරය තුළදී අමානුෂික ලෙස ඝාතනය කිරීම පිටුපස එදා සිටි දේශපාලන බලධාරීන් සිටි බව පෙන්වා දුන්නේය.

“අද අපි රට තුළ විශාල දේශපාලන සහ සමාජයීය වෙනසක් කරමින් සිටිනවා. නමුත්, තමන්ගේ පටු වාසි තකා ක්‍රියා කරන ඇතැම් දේශපාලනඥයන් තවමත් කැමති අතීතයේ පැවති ඒ ම්ලේච්ඡ, ප්‍රචණ්ඩකාරී සංස්කෘතියටමයි. මීගමුව බන්ධනාගාර සිදුවීමත් ඒ වැනි බලවේගවල වුවමනාවන් මත සිදු වූවක්ද යන සැකය මතු වෙනවා.” යැයි අමාත්‍යවරයා පැවසීය.

“තරුණයන් කුඩුකාරයන් සහ මිනීමරුවන් කළේ පසුගිය පාලකයන්”

“සිරකරුවනුත් මනුෂ්‍යයන්” බව පෙන්වා දුන් අමාත්‍ය චන්ද්‍රසේකර් මහතා, මෙරට තරුණ පරපුර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සහ මිනීමරුවන් බවට පත් කළේ පසුගිය පාලකයන් විසින් පවත්වාගෙන ගිය දූෂිත දේශපාලන ක්‍රමය විසින් බවට සෘජුවම චෝදනා කළේය.

කලාපීය වශයෙන් සුවිශේෂී සංස්කෘතික අනන්‍යතාවක් තිබූ යාපනය වැනි ප්‍රදේශ පවා අද වන විට මත්ද්‍රව්‍ය උවදුරෙන් බැටකමින් සිටින බවත්, මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගෙන් තම දරුවන් බේරා දෙන ලෙස මව්පියන් හඬා වැටෙමින් ඉල්ලා සිටින බවත් ඔහු සිහිපත් කළේය.

දරිද්‍රතාවය සහ අධ්‍යාපනය බිඳ වැටීම ප්‍රචණ්ඩත්වය හිස එසවීමට මූලික හේතුව වන බැවින්, ජනතාව දිළිඳුකමෙන් මුදවා ගැනීමේ මූලික වැඩපිළිවෙළ රජය ක්‍රියාත්මක කරමින් සිටින බව අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේය.

දැනටමත් රට පුරා ක්‍රියාත්මක මත්ද්‍රව්‍ය නාශක වැඩසටහන් හරහා සාර්ථක ප්‍රතිඵල ලැබී ඇති අතර, ඉදිරියේදී තවදුරටත් නීතිය තදින්ම ක්‍රියාත්මක කරමින්, පැරණි දූෂිත දේශපාලනඥයන්ට නැවත කිසිදු ආකාරයකින් හිස එසවීමට ඉඩ නොතබන බව ද අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් මහතා වැඩිදුරටත් කියා සිටියේය.

Share.
Leave A Reply