මීගමුව බන්ධනාගාරයේ සිට වෙනත් බන්ධනාගාර වෙත මාරුකර යවන ලද රැඳවියන් පිරිසක් එම බන්ධනාගාර තුළදී දරුණු ලෙස කායික වධහිංසාවන්ට ලක්වෙමින් සිටින බව සිරකරුවන්ගේ අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව (CPRP) නිල වශයෙන් අනාවරණය කරයි. කමිටුව විසින් නිකුත් කරන ලද හදිසි නිවේදනයක් මඟින් මේ බව රටට හෙළි කර තිබේ.
එම නිවේදනයට අනුව, මීගමුවෙන් අඟුණකොළපැලැස්ස බන්ධනාගාරය වෙත මාරුකළ රැඳවියන්ට එල්ල වූ අමානුෂික ප්රහාර හේතුවෙන් ඔවුන්ගේ කකුල් පවා කැඩී ගොස් ඇති අතර, පිට ප්රදේශ පැලී බරපතල තුවාල සිදුවී ඇති බවට තොරතුරු ලැබී ඇත.
වැලිකඩ බන්ධනාගාරයෙනුත් අවදානමක්!
වැලිකඩ බන්ධනාගාරය තුළ රඳවා සිටින රැඳවියන්ට එරෙහිව ද මෙවැනිම ආකාරයේ දරුණු වධහිංසා පැමිණවීමේ සූදානමක් පවතින බවට තොරතුරු ලැබී ඇති බවද එම කමිටුව පවසයි.
සිරකරුවන්ගේ අයිතිවාසිකම් සුරැකීමේ කමිටුවේ සභාපති, නීතිඥ සේනක පෙරේරා මහතාගේ අත්සනින් යුතුව නිකුත් කර ඇති මෙම නිවේදනය මඟින් බලධාරීන්ගෙන් දැඩි ලෙස ඉල්ලා සිටින්නේ:
මෙම තොරතුරු සත්ය නම්, වහාම ක්රියාත්මක වන පරිදි මෙම වධහිංසා පැමිණවීම් නතර කරන ලෙස.
ප්රහාරයන්ට ලක්ව තුවාල ලබා සිටින රැඳවියන් වෙත වහාම වෛද්ය ප්රතිකාර ලබාදීමට මැදිහත් වන ලෙස.
මීගමුව බන්ධනාගාරයේ සිට වෙනත් ස්ථාන කරා මාරුකර යැවූ සියලුම රැඳවියන්ගේ ජීවිත ආරක්ෂාව වහාම තහවුරු කරන ලෙසයි.
බන්ධනාගාර පද්ධතිය තුළ රැඳවියන්ගේ මානව හිමිකම් සහ ජීවත්වීමේ අයිතිය බරපතල ලෙස උල්ලංඝනය වෙමින් පවතින බව පෙන්වා දෙන මෙම සිදුවීම සම්බන්ධයෙන් වගකිවයුතු බලධාරීන් මෙතෙක් නිල ප්රකාශයක් සිදුකර නොමැත.

