හිරගෙවල් පුපුරන මට්ටමට සිරකරුවන් සිව්ගුණයකින් ඉහළට!
රණවිරු පදක්කම් අවඥාවට ලක් කළ සොලිසිටර්ට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට – උදය ගම්මන්පිල
ශ්‍රී ලංකාවේ සමස්ත බන්ධනාගාර පද්ධතියම දැඩි ව්‍යසනකාරී තත්ත්වයකට පත්කරමින්, එහි උපරිම ධාරිතාව මෙන් සිව්ගුණයකට වඩා වැඩි (400% ඉක්මවූ) සිරකරුවන් පිරිසක් රඳවා තබා ඇති බව පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා දත්ත සහිතව අනාවරණය කරයි.
කොළඹදී අද පැවැති මාධ්‍ය හමුවකදී අදහස් දැක්වූ ඒ මහතා, මෑතකදී මීගමුව බන්ධනාගාරයේ සිදු වූ මාරාන්තික ගැටුමට ප්‍රධානතම හේතුව බන්ධනාගාර නිලධාරීන්ගේ හෝ රැඳවියන්ගේ වරදක් නොව, මෙරට අධිකරණ පද්ධතිය වෙළාගෙන ඇති දරුණු නඩු පමාව බව පෙන්වා දුන්නේය.
මාරාන්තික සටනට හේතුව මෙන්න: ධාරිතාව 10,395 යි; රැඳවියන් 42,034 යි!
පසුගියදා මීගමුව බන්ධනාගාරයේ රැඳවියන් අතර ඇති වූ ගැටුමකින් පුද්ගලයන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව 34 දෙනෙකු තුවාල ලැබූ සිදුවීම පිටුපස ඇති සැබෑ දත්ත රට හමුවේ තබමින් ගම්මන්පිල මහතා ප්‍රකාශ කළේ 2022 වසරේ සිට 2026 දක්වා ගත වූ වසර 4 තුළ සිරකරුවන් සංඛ්‍යාව හරියටම දෙගුණයකින් ඉහළ ගොස් ඇති බවයි.
“ලංකාවේ සියලුම සිර කඳවුරුවල නිල වශයෙන් රඳවා තැබිය හැක්කේ රැඳවියන් 10,395 ක් පමණයි. නමුත් 2026 ජූනි 29 වනදා වන විට බන්ධනාගාර පද්ධතිය තුළ 42,034 ක පිරිසක් ගාල් කර තිබෙනවා.
සැබෑ ධාරිතාව වගේ හතර ගුණයක් සිරකරුවන් ඉන්නකොට වැසිකිළියට යන්න, ආහාර ගන්න, නිදාගන්න වගේම තමන්ගේ ඥාතීන් හමුවෙන්නත් සිරකරුවන්ට මාරාන්තික පොරයකට තල්ලු වෙන්න සිද්ධ වෙනවා. මේ මානසික පීඩනය නිසා ගැටුම් ඇතිවීම පුදුමයක් නෙවෙයි,” යැයි ඒ මහතා පැවසීය.
නඩු තීන්දුවක් දෙන්න වසර 10ක් ගතවේ: 75%ක්ම රිමාන්ඩ් සැකකරුවන්
ගම්මන්පිල මහතා පෙන්වා දෙන පරිදි, වත්මන් බන්ධනාගාරවල සිටින සමස්ත පිරිසෙන් 75% ක්ම වැරදිකරුවන් වූ සිරකරුවන් නොව, නඩු විභාග වෙමින් පවතින රක්ෂිත බන්ධනාගාරගත (රිමාන්ඩ්) සැකකරුවන් වේ.
එක් අධිකරණයක සාමාන්‍යයෙන් නඩු 3,303 ක් වැනි අධික ප්‍රමාණයක් විභාග වෙමින් පවතින අතර, පොලීසියට පැමිණිල්ලක් කළ දවසේ සිට නඩු තීන්දුවක් ලැබීමට සාමාන්‍යයෙන් වසර 10යි මාස 2ක දීර්ඝ කාලයක් ගතවේ. මෙයට ප්‍රධානතම හේතුව නීතිපති උපදෙස් ප්‍රමාද වීම සහ රස පරීක්ෂක වාර්තා ප්‍රමාද වීමයි. රස පරීක්ෂක දෙපාර්තමේන්තුවට නවීන තාක්ෂණය හඳුන්වා දී නඩු කඩිනම් කළහොත් බන්ධනාගාර ඉබේම හිස්වන බව ඒ මහතා අවධාරණය කළේය.
මෙරට විශිෂ්ට රණවිරුවෙකු වන බලපන්ති ලුතිනන් ශාන්ත ජයතිලක මහතා යුද බිමේ දැක්වූ දස්කම් වෙනුවෙන් දිනාගත්, ජීවතුන් අතර සිටින රණවිරුවෙකුට ලැබෙන ඉහළම සම්මානය වන “වීර වික්‍රම විභූෂණ” ඇතුළු පදක්කම් හත “තහඩු කෑලි” ලෙස හඳුන්වමින් අපහාස කළ අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතාගේ ක්‍රියාව දැඩි පිළිකුලෙන් යුතුව හෙළා දුටුවේය.
“ජනාධිපතිවරයා අත්සන් කර ගැසට් මගින් දුන්නු මේ උදාර සම්මාන, ජනාධිපතිවරයා යටතේම වැඩ කරන අතිරේක සොලිසිටර් ජනරාල්වරයා අවඥාවට ලක් කරනවා.
එක් තහඩුවක් ගැහුවත් ලක්ෂ 10ක් දෙනවා කියලා ජනාධිපතිවරයා කියපු කතාවක් නිසා, මේ පදක්කම් හත විවේචනය කරලා ජනාධිපතිවරයාගෙන් ලක්ෂ 70ක් ගන්න දිලීප පීරිස් මහත්තයා පෙරේතකම් කළාද කියලා අපට සාධාරණ සැකයක් තිබෙනවා,” යැයි පැවසූ ගම්මන්පිල මහතා, ශ්‍රේෂ්ඨාධිකරණ රීති 53 සහ 54 අමුඅමුවේ උල්ලංඝනය කරමින් සැකකරුවන්ට සහ තුන්වන පාර්ශවයන්ට අපහාස කිරීම හේතුවෙන් දිලීප පීරිස් මහතාව නීතිඥ වෘත්තියෙන් ඉවත් කරන ලෙස ඉල්ලා ඉදිරියේදී ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ගොනු කරන බවද නිවේදනය කළේය.

