ඩීසල් ලීටරයක මිල රුපියල් 20කින් අඩු කිරීමත් සමඟ ලංකා විදුලිබල මණ්ඩලයට දිනකට හිමිවන රුපියල් මිලියන 50ක දැවැන්ත පිරිවැය වාසිය වහාම විදුලි පාරිභෝගිකයන් වෙත ලබා දීමට පියවර ගත යුතු යැයි විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමය අවධාරණය කරයි.

එම සංගමයේ ජාතික ලේකම් සංජීව ධම්මික මහතා මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් කරමින් කියා සිටියේ, ඉන්ධන මිල සංශෝධනයේ සැබෑ ප්‍රතිලාභය ජනතාවට ලැබිය යුතු අතර, එය ඉදිරි විදුලි ගාස්තු හෝ පිරිවැය සංශෝධන හරහා පාරිභෝගිකයා වෙත ගලා යාමට මහජන උපයෝගිතා කොමිෂන් සභාව වහාම මැදිහත් විය යුතු බවයි.

“දවසට මිලියන 50ක වාසිය කාටද?” – රජයෙන් ප්‍රශ්න කරයි

ජාතික ලේකම්වරයා පෙන්වා දෙන්නේ ඩීසල් මිල අඩුවීම නිසා විදුලි උත්පාදන පිරිවැය සැලකිය යුතු ලෙස පහත වැටී ඇති බවයි.

“ඩීසල් ලීටරයක් රුපියල් 20කින් අඩු වුණාම විදුලිබල මණ්ඩලයට විතරක් දවසකට රුපියල් මිලියන 50ක ආර්ථික වාසියක් ලැබෙනවා. ඉතින් අපි රජයෙන් අහන්නේ, මේ සාමාන්‍ය ජනතාවගේ සල්ලිවලින් ඉතුරු වෙන වාසිය මහජනතාවට නොදී තියාගෙන ඉන්නේ කාටද?” යැයි ඔහු ප්‍රශ්න කර සිටියි.

නැප්තා සහ දැවිතෙල් මිල නොසෙල්වුණේ කාගේ වාසියටද?

මෙම ඉන්ධන මිල සංශෝධනයේදී මතුව ඇති බරපතළම ගැටලුව වන්නේ විදුලි උත්පාදනය සඳහා බහුලවම භාවිත කරන නැප්තා (Naphtha) සහ දැවි තෙල් (Furnace Oil) මිල සංශෝධනය නොකිරීම බව සංජීව ධම්මික මහතා පවසයි.

මේ පිටුපස කිසියම් සැකකටයුතු ක්‍රියාවලියක් පවතින බව පවසන ඒ මහතා, රජයෙන් පහත ප්‍රශ්න සඳහා වහාම පිළිතුරු ඉල්ලා සිටියි:

තාක්ෂණික පදනම කුමක්ද?: ඩීසල් මිල අඩු කරන විට නැප්තා සහ දැවිතෙල් මිල වෙනස් නොකිරීමට ගත් තීරණයට ඇති තාක්ෂණික, ආර්ථික හෝ ප්‍රතිපත්තිමය හේතුව කුමක්ද?

පෞද්ගලික බලාගාරවලට වාසි සැලසීමක්ද?: මෙම මිල සඟවා තැබීම හරහා පෞද්ගලික විදුලි බලාගාර හිමියන්ට (IPP) අයුතු ලාභයක් ඉපැයීමට ඉඩ සලසා දී තිබේද?

වහාම විනිවිදභාවය තහවුරු කරනු!

මේ වන විට සමාජය තුළ මේ සම්බන්ධයෙන් බරපතළ ප්‍රශ්න සහ සැකයන් මතුව ඇති බැවින්, රජය සහ අදාළ බලධාරීන් වහාම මේ පිළිබඳව විනිවිදභාවයකින් යුතුව කරුණු පැහැදිලි කළ යුතු බව විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමය අවධාරණය කරයි.

ජනතාව මත පටවා ඇති අධික ජීවන බර හමුවේ, මෙවැනි පිරිවැය වාසි සඟවා නොතබා වහාම විදුලි බිල අඩු කිරීම හරහා ජනතාවට සහන සලසන්නට රජය කටයුතු කළ යුතු බව සංගමයේ අවසාන නිවේදනයෙන් දන්වා සිටියි.

Share.
Leave A Reply