පරිසරය සුරක්ෂිත කිරීම සඳහා අවශ්‍ය නෛතික ප්‍රතිපාදන සලසමින් ජාතික පරිසර පනත නව සංශෝධන සහිතව සම්මත කිරීමට නව රජයට හැකි වූ බව පරිසර නියෝජ්‍ය අමාත්‍ය ඇන්ටන් ජයකොඩි මහතා පවසයි.
තායිලන්තයේ බැංකොක් නුවර පැවැත්වෙන 7 වන දේශගුණික සහ තිරසර සංවර්ධන අරමුණු සහජීවනය පිළිබඳ ගෝලීය සමුළුවේ විශේෂ සැසියක් අමතමින් අද (ජූනි 30) පෙරවරුවේ ඒ මහතා මේ බව ප්‍රකාශ කළේය.
මෙම නව සංශෝධන හරහා ජල, වායු හා ශබ්ද දූෂණය පාලනය කිරීම, තෙත් බිම් ආරක්ෂා කිරීම සහ ‘දීර්ඝ කරන ලද නිෂ්පාදක වගකීම’ (EPR) ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන ඇති බව අමාත්‍යවරයා සඳහන් කළේය.
එමෙන්ම, 2030 වන විට ශ්‍රී ලංකාවේ බලශක්ති අවශ්‍යතාවයෙන් 70%ක් පුනර්ජනනීය බලශක්තියෙන් සපුරා ගැනීමට පියවර ගනිමින් සිටින බවත්, ණය බර සහ මූල්‍ය දුෂ්කරතා හමුවේ දේශගුණික විපර්යාසයන්ට මුහුණ දීම සඳහා සංවර්ධනය වෙමින් පවතින රටවලට සහය වන ලෙස ශ්‍රී ලංකාව ලෝක ප්‍රජාවගෙන් ඉල්ලා සිටින බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් අවධාරණය කළේය.

