හැඳුනුම්පත නැතිව වැඩිහිටි දීමනාව අහිමි වූ 76,000කගේ ගැටලුව විසඳීමට කඩිනම් ඒකාබද්ධ මෙහෙයුමක්!
ජාතික හැඳුනුම්පත් (NIC) නොමැති වීම හේතුවෙන් රජයේ රුපියල් 5,000 මාසික වැඩිහිටි දීමනාව අහිමි වී ඇති අඩු ආදායම්ලාභී පවුල්වල ජ්‍යෙෂ්ඨ පුරවැසියන් 76,716 දෙනෙකු සඳහා කඩිනමින් හැඳුනුම්පත් සකස් කර දීමේ විශේෂ ජාතික වැඩසටහනක් ආරම්භ කර තිබේ. ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍යාංශයේ මගපෙන්වීම යටතේ රාජ්‍ය ආයතන තුනක් ඒකාබද්ධව මෙම මෙහෙයුම දියත් කර ඇත.
වත්මන් රජය විසින් මීට පෙර රුපියල් 3,000ක්ව පැවති මාසික වැඩිහිටි දීමනාව රුපියල් 5,000 දක්වා ඉහළ නැංවීමට කටයුතු කළ අතර, එමගින් ප්රතිලාභ ලබන වැඩිහිටියන් සංඛ්‍යාව මිලියනයක් (ලක්ෂ 10ක්) දක්වා දීර්ඝ කිරීමට ද පියවර ගන්නා ලදී. වයස අවුරුදු 70ට වැඩි අන්ත අසරණ සහ අඩු ආදායම්ලාභී ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ ජීවන තත්ත්වය නංවාලීම මෙහි මූලික අරමුණ වී ඇත.
නවතම සංඛ්‍යාලේඛනවලට අනුව, මේ වන විට ජ්‍යෙෂ්ඨ පුරවැසියන් 931,286 දෙනෙකු සාර්ථකව මෙම දීමනාව ලබා ගනිති. ඉන් බහුතරයක් වන 698,790 දෙනෙකු ‘අස්වැසුම’ සුභසාධන ගිණුම් හරහා ද, තවත් 232,496 දෙනෙකු දිවයින පුරා විසිරී ඇති තැපැල් කාර්යාල ජාලය හරහා ද සිය දීමනා ලබා ගන්නා බව ජාතික වැඩිහිටි මහලේකම් කාර්යාලය තහවුරු කරයි.
‘අස්වැසුම’ ගිණුම් ප්‍රතිලාභීන්: 698,790 (75%)
තැපැල් කාර්යාල ප්‍රතිලාභීන්: 232,496 (25%)
දීමනාව දැනට ලබන මුළු පිරිස: 931,286
හැඳුනුම්පත් ගැටලුව නිසා දීමනාව අහිමි වූ පිරිස: 76,716
නිසි ජාතික හැඳුනුම්පතක් නොමැති වීම හේතුවෙන් තවත් වැඩිහිටියන් 76,716 දෙනෙකුට මෙම අත්‍යවශ්‍ය මූල්‍ය ආධාරය අහිමි වී යාම බරපතළ ගැටලුවක් වී තිබුණි. මෙම තත්ත්වය මගහරවා ගැනීම සඳහා ජාතික වැඩිහිටි මහලේකම් කාර්යාලය, පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව සහ රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව ඒකාබද්ධව විශේෂ ජංගම සේවා සහ කඩිනම් වැඩපිළිවෙළක් රට පුරා ක්‍රියාත්මක කර තිබේ.
ජාතික හැඳුනුම්පතක් නොමැති වීම නිසා මෙතෙක් වැඩිහිටි දීමනාව අහිමි වී සිටින යම් ජ්‍යෙෂ්ඨ පුරවැසියෙකු වේ නම්, ප්‍රමාදයකින් තොරව තම වසමේ ග්‍රාම නිලධාරී, ප්‍රජා සවිබලගැන්වීමේ නිලධාරී හෝ වැඩිහිටි හිමිකම් ප්‍රවර්ධන නිලධාරී හමුවී තමන්ගේ තොරතුරු ලබා දෙන ලෙස ජාතික වැඩිහිටි මහලේකම් කාර්යාලය ඉල්ලා සිටියි.

