“අපට ලෝකයේ පොහොසත්ම රට විය නොහැකි වුවත්, ලෝකයේ අභිමානවත්ම රට විය හැකියි” – පනාගොඩදී භට පිරිස් අමතමින් ජනපති කියයි.
ලෝකයේ කොතැනක සිටියත් පීඩාවට පත් ජනතාවගේ ආරක්ෂාව, ප්රජාතන්ත්රවාදය සහ මානව හිමිකම් වෙනුවෙන් පෙනී සිටීමට සූදානම් ශක්තිමත් හමුදාවක් ශ්‍රී ලංකාව සතු බව ලෝකයටම කියා පාමින්, මෙරට ඉතිහාසයේ එක්සත් ජාතීන්ගේ සාමසාධක මෙහෙයුමක් සඳහා පිටත්ව යන විශාලතම භට කණ්ඩායම ලබන අගෝස්තු මාසයේදී හයිටි රාජ්‍යය (Haiti) බලා පිටත්ව යාමට නියමිතය.
1,132 කගෙන් සමන්විත මෙම සුවිශේෂී බලඇණියට සුබපැතුම් එක් කිරීමේ නිල උත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (26) පෙරවරුවේ පනාගොඩ ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී පැවැත්විණි. එක්සත් ජාතීන්ගේ සාමසාධක මෙහෙයුම් සඳහා පිටත්ව යන භට පිරිසක් දිරිමත් කිරීම වෙනුවෙන් රාජ්‍ය නායකයෙකු සෘජුවම සහභාගී වූ මෙරට පළමු අවස්ථාව මෙය වීම විශේෂත්වයකි.
ප්‍රථම වතාවට කාන්තා බිම්බෝම්බ නිෂ්ක්‍රීය බලකායක්!
මෙවර හයිටි රාජ්‍යයේ සාමය ස්ථාපිත කිරීමේ අතිශය බරපතළ මෙහෙයුම සඳහා එක්වන 1,132 ක පිරිස සුවිශේෂී බලඇණි සංයුතියකින් සමන්විත වේ.
යුද හමුදා භට පිරිස්: 900 කි.
පොලිස් විශේෂ කාර්ය බලකා (STF) නිලධාරීන්: 189 කි.
යුද හමුදා කාන්තා සේවා සාමාජිකාවන්: 43 කි. (මෙරට හමුදා ඉතිහාසයේ පළමු වතාවට බිම්බෝම්බ සහ මරඋගුල් නිෂ්ක්‍රීය කිරීම පිළිබඳ විශේෂ පුහුණුව ලත් කාන්තා බලකායක් මෙහෙයුමකට එක්වේ).
තාක්ෂණික දායකත්වය: ශ්‍රී ලංකාවේ නිෂ්පාදිත ‘යුනි බෆල්’ (Uni Buffel) සන්නද්ධ රථ මෙන්ම ජනාධිපති ආරක්ෂක අංශයෙන් පරිත්‍යාග කළ විශේෂ වෙඩි නොවදින රථ 2ක් ද මෙම බලඇණිය සතුය.
“අභ්‍යන්තර හා බාහිර කම්පන හමුවේ ආර්ථිකය නොසැලී ඉදිරියට”
මෙහිදී සන්නද්ධ බලකායන් ඇමතූ ජනාධිපතිවරයා, රටක ජාත්‍යන්තර අභිමානය රැඳී ඇත්තේ එහි ආර්ථික ස්ථාවරත්වය මත බව සංඛ්‍යාලේඛන සහිතව පෙන්වා දුන්නේය.
“ණය ගෙවාගත නොහැකි, බංකොලොත් වූ රටකට ජාත්‍යන්තරයේ ගෞරවයක් හිමිවන්නේ නැහැ. නමුත් අද වන විට අපි බාහිර හා අභ්‍යන්තර කම්පනවලට ඔරොත්තු දෙන ආර්ථිකයක් නිර්මාණය කර තිබෙනවා.”
පසුගිය කාලයේ මෙරටට දැඩි බලපෑමක් එල්ල කළ ‘දිට්වා’ සුළි කුණාටු ව්‍යසනය හමුවේ අලුතින් මුදල් මුද්‍රණය කිරීමකින් හෝ විදේශ ණය ලබාගැනීමකින් තොරව, සහන කටයුතු වෙනුවෙන් රුපියල් කෝටි 50,000 ක් වෙන් කිරීමට රජයට හැකි වූ බව ජනාධිපතිවරයා අනාවරණය කළේය. එහි ප්‍රතිඵලයක් ලෙස 2026 වසරේ ජනවාරි-මාර්තු පළමු කාර්තුව තුළ ශ්‍රී ලංකාව 5.1% ක සැලකිය යුතු ආර්ථික වර්ධන වේගයක් අත්පත් කරගෙන ඇත. එමෙන්ම මැදපෙරදිග යුද වාතාවරණය හමුවේ රට තුළ ඉන්ධන හෝ විදුලි අර්බුදයක් ඇති වීමට ඉඩ නොතබා, ජනතා සහන වෙනුවෙන් රුපියල් කෝටි 10,000 ක් වෙන් කිරීමට පියවර ගත් බව ද හෙතෙම සඳහන් කළේය.
වරදක් කළ අයකු වේ නම් හමුදාවේ කීර්තිය වෙනුවෙන් නීතිය ක්‍රියාත්මකයි
රටේ ආරක්ෂාව සහ ජනතාවගේ නිදහස වෙනුවෙන් කැප වූ සාමාන්‍ය සෙබළාගේ සිට හමුදාපතිවරයා දක්වා සියලු දෙනා ආරක්ෂා කිරීමට රජය බැඳී සිටින බව ප්‍රකාශ කළ ජනාධිපතිවරයා, හමුදා විනය සහ නීතියේ ආධිපත්‍යය පිළිබඳව ද දැඩි ස්ථාවරයක් ප්‍රකාශ කළේය.
“සිදු වූ වැරදි වැලිවලට යට කර සැඟවීමෙන් හමුදාවේ ගෞරවය රැකෙන්නේ නැහැ. යම් කුඩා කණ්ඩායමක් පුද්ගලික හෝ දේශපාලන බල වුවමනාවන් වෙනුවෙන් හමුදා කීර්තියට හානි වන දේ කර තිබේ නම්, වින්දිතයන්ගේ ආරක්ෂාව සහ රටේ අභිමානය වෙනුවෙන් ඔවුන් පිළිබඳ පරීක්ෂණ පවත්වා සමාජයට හෙළිදරව් කිරීමට අප සූදානම්.”
හයිටි රාජ්‍යයේ අභ්‍යන්තර ගැටුම් නිමා කර, ජනතාවට ප්‍රජාතන්ත්‍රවාදීව තමන්ගේ පාලකයන් තෝරා පත් කරගැනීමට අවශ්‍ය වටපිටාව සකස් කිරීමේ භාරදූර වගකීම මෙරට රණවිරුවන් සතු බවත්, ශ්‍රී ලංකා ජාතික කොඩිය දෙවුර මත තබාගෙන යන මෙම ගමනේදී මව්බිමේ සහ තමන්ගේ දෙමාපියන්ගේ බලාපොරොත්තු ඉහළින්ම සුරැකීමට කටයුතු කරන ලෙසත් ජනාධිපතිවරයා අවධාරණය කළේය.
මෙම අවස්ථාවට ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය විශ්‍රාමික මේජර් ජෙනරාල් අරුණ ජයසේකර, ආරක්ෂක ලේකම් විශ්‍රාමික එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා, ත්‍රිවිධ හමුදාපතිවරුන්, පොලිස්පතිවරයා ඇතුළු ආරක්ෂක අංශ ප්‍රධානීන් ද, ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් සංතොෂ් ජා සහ ඇමරිකානු වැඩබලන තානාපතිනි ජේන් හවෙල් (Jayne Howell) යන රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීහු ද එක්ව සිටියහ.

