ශ්‍රේෂ්ඨාධිකරණය සහ අභියාචනාධිකරණය සඳහා විනිසුරුවන් පත්කිරීම ප්‍රමාද කිරීමට අදාළව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පාර්ලිමේන්තුවේදී කළ ප්‍රකාශය රටේ පවතින නීතියේ ආධිපත්‍යට සහ අධිකරණයේ ස්වාධීනත්වයට සෘජුවම පටහැනි වන බව ‘දිනන දකුණ සාමූහිකය’ පවසයි.
නිවේදනයක් නිකුත් කරමින් එම සාමූහිකය පෙන්වා දෙන්නේ පහළ අධිකරණවල පවතින පරිපාලනමය ගැටලු මුවාවට ගෙන, ව්‍යවස්ථාපිත වගකීමක් වන ඉහළ අධිකරණවල උසස්වීම් කල් දැමීම නීතිමය වශයෙන් වලංගු නොවන, විධායකයේ අනිසි මැදිහත්වීම් සඳහා භයානක පූර්වාදර්ශයක් සපයන ක්‍රියාවක් බවයි. පහළ අධිකරණ පාලනය අධිකරණ සේවා කොමිෂන් සභාව සතු වන අතර, ඉහළ අධිකරණ පත්කිරීම් ව්‍යවස්ථා සභාවේ අනුමැතිය මත ජනාධිපතිවරයා සතු සුවිශේෂී වගකීමක් බැවින් මෙම ක්ෂේත්‍ර දෙක පටලවා නොගත යුතු බව එහි සඳහන් වේ.
මෙම කෘතිම ප්‍රමාදය හේතුවෙන් වෘත්තීය විනිසුරුවන්ගේ ‘සාධාරණ අපේක්ෂාවන්’ බිඳ වැටී ඔවුන්ට වෘත්තීයමය අගතියක් සිදුවන බවත්, එය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12(1) වගන්තිය යටතේ සහතික කර ඇති ‘නීතිය ඉදිරියේ සමාන ආරක්ෂාව ලැබීමේ අයිතිය’ සෘජුවම උල්ලංඡනය කිරීමක් බවත් එම සාමූහිකය අවධාරණය කරයි. මේ හරහා ඉහළ අධිකරණවල නඩු ගොඩගැසීම උග්‍ර වී මහජනයාට යුක්තිය පසිඳලීම අඩාල වන බැවින්, ව්‍යවස්ථාපිත වගකීම ඉටු කරමින් ඉහළ අධිකරණවල විනිසුරු මඩුල්ලේ සම්පූර්ණ සංඛ්‍යාව තවදුරටත් ප්‍රමාද නොකර සම්පූර්ණ කරන ලෙස ‘දිනන දකුණ සාමූහිකයේ’ නායකත්ව මණ්ඩලය සහ විධායක සභාව විධායකයෙන් දැඩිව ඉල්ලා සිටී.

