“යම් යම් පාර්ශවයන්ගේ පටු බලපෑම් හේතුවෙන් අහිංසක රෝගීන්ගේ ජීවිත මෙලෙස අනතුරේ හෙළීම සම්බන්ධයෙන් වහාම විධිමත් පරීක්ෂණයක් පැවැත්විය යුතුයි.” — රජයේ විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමය
පිළිකා රෝගීන්ට ලබාදෙන ලීනියර් ඇක්සලරේටර් (Linear Accelerator) විකිරණ ප්‍රතිකාර සඳහා අත්‍යවශ්‍ය වන CT Simulation පරීක්ෂණ සිදුකිරීමට නොහැකි වීම හේතුවෙන්, මහරගම අපේක්ෂා රෝහලේ රෝගීන් 800 කට වැඩි පිරිසක් දැඩි අසරණතාවයට පත්ව සිටිති.
රෝහල වෙත අලුතින්ම ගෙන්වා ඇති CT යන්ත්‍රය ස්ථාපනය කර අවසන් වුවද, ඇතැම් පාර්ශවයන්ගේ බලපෑම් මත එය නිල වශයෙන් භාරගැනීමේ (Acceptance) කටයුතු දිගින් දිගටම ප්‍රමාද වෙමින් පවතී. ජුනි මස මුල් සතියේදී රෝහල් අධ්‍යක්ෂවරයා විසින් මේ සඳහා විශේෂ කමිටුවක් පත් කළද, මෙතෙක් ස්ථිර විසඳුමක් ලැබී නොමැත.
ප්‍රතිකාර ප්‍රමාද වීම: විකිරණ ප්‍රතිකාර සැලසුම් කිරීම (Treatment Planning) සඳහා මෙම CT පරීක්ෂණය අනිවාර්ය වේ. මෙය ප්‍රමාද වීම රෝගීන්ගේ ජීවිත අවදානම දැඩි ලෙස ඉහළ නංවයි.
තාවකාලික පියවර: දැනට ඉතා හදිසි පරීක්ෂණ කිහිපයක් පමණක් PET Scan යන්ත්‍රය ඇසුරින් සිදු කෙරුණද, එය බහුතරයක් වූ 800+ රෝගීන්ට කිසිසේත්ම ප්‍රමාණවත් නොවේ.
රෝගීන් මුහුණ දෙන මෙම බරපතල ඛේදවාචකය පිළිබඳව කඩිනමින් අවධානය යොමු කර, අදාළ CT යන්ත්‍රය වහාම ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය පසුබිම සකස් කර දෙන ලෙස රජයේ විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමය සෞඛ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතාගෙන් දැඩිව ඉල්ලා සිටී.

