එදා මිස්සක පව්වේ (මිහින්තලයේ) හිටපු මුවා ලංකා ඉතිහාසයේ ලොකුම හැරවුම් ලක්ෂ්‍යය වුණේ ඌ රජෙක්ව “දඩයම් යුගයෙන් ධාර්මික යුගයකට” දක්කාගෙන ගියපු හින්දයි. එදා දේවානම්පියතිස්ස රජ්ජුරුවෝ මුවා පිටිපස්සේ දුවලා අන්තිමේදී නැවතුණේ බුදු දහම ළඟ. ඒ මුවා, මේ රටට ප්‍රඥාවේ ආලෝකය උදා කරපු නිහඬ මාර්ගෝපදේශකයෙක්.

හැබැයි, එදා ඒ සතාගෙන් පටන් ගත්තු “මුවා” කියන වචනය, අද වෙනකොට ලංකාවේ දේශපාලකයෝ, නිලධාරියෝ සහ බත් බැලයෝ තමන්ගේ පටු වාසි තකා පාවිච්චි කරන “මුවාව” (හැංගෙන පළිහ) බවට පත්වෙලා තියෙනවා.

අද කාලේ දකින්න ලැබෙන්නේ එදා වගේ ධර්මය සොයාගෙන මුවෝ පිටිපස්සේ දුවන රජවරු නෙවෙයි; රට, ජාතිය, ආගම, ජනතාව සහ ක්‍රිකට් පිටිපස්සේ “මුවා වෙලා” තමන්ගේ මඩිය තරකරගන්නා අමුතුම ජාතියේ “තක්කඩි රැළක්”.

දේශප්‍රේමයේ මුවාවෙන් කෙරෙන කොල්ලය

සැමුවෙල් ජොන්සන් එදා කියපු කතාව අදටත් අකුරක් නෑර වටිනවා: “දේශප්‍රේමය යනු තක්කඩියන්ගේ අවසාන නවාතැනයි.”

තමන් මහජන මුදල් ගිලලලා, වංචා-දූෂණ කරලා මාට්ටු වෙන්න යන හැම වෙලාවකම මුන් කරන්නේ ජාතික කොඩිය ඇඟේ පටලවාගෙන, “රට අනතුරේ, ජාතිය අනතුරේ” කියලා රට වැසියන්ගේ හැඟීම්වලට මුවා වීමයි.

ආගමේ සහ සුදු රෙද්දේ මුවාව

ඇතුළතින් මහා පරිමාණ කුඩු ජාවාරම්, වංචා, සහ අකුසල් කරමින් බාහිරින් සුදු රෙදි පොරවාගෙන, පන්සල්-පල්ලි ගානේ දණගාන්නේ දහමට ඇති ලැදියාව නිසා නෙවෙයි; ආගමික භක්තියට මුවා වෙලා තමන්ගේ පාපකර්ම වසාගන්නයි. දාර්ශනික සෙනෙකා කිව්වා වගේ, මුන්ට “ආගම කියන්නේ බලය රැකගන්න තියෙන ටූල් එකක් විතරයි.”

කඩුල්ලට මුවා වූ ක්‍රිකට් මාෆියාව

දිනුවොත් ක්‍රීඩකයන්ගේ බ්‍රෑන්ඩ් එකට මුවා වෙලා, පැරදුණොත් “ප්‍රතිසංස්කරණ” වලට මුවා වෙලා නිලධාරීන් කරන්නේ සැප විඳින එකයි. පිටිය මැද කොල්ලෝ දහඩිය හලද්දී, ඒ ජයග්‍රහණවලට මුවා වෙලා තමන්ගේ ඩොලර් මඩිස්සල තර කරගන්නා බලධාරීන් කරන්නේ “නියරෙන්ම බිත්තර කෑමක්”. කුඹුර රකින්න හදපු නියරම අස්වැන්න කනවා වගේ, ක්‍රීඩාව රකින්න පත් කරපු එවුන්ම එකතුවෙලා ක්‍රීඩාව විකුණන් කනවා.

“ගහට මුවා වී කොළ කෑම”

අද අපේ පද්ධතියේ ඉන්න බොහෝ දෙනෙක් කරන්නේ මේකයි. තමන් ජීවත් වෙන, තමන්ට රැකවරණය දෙන රටට හෝ ආයතනයටම මුවා වෙලා, උඩින් ලස්සන කතා කියමින් යටින් එහි ලේ-මස් උරා බොනවා. මුන් හරියට “බැටළු හම් පොරවාගත් වෘකයන්” වගෙයි.

නිගමනය: මහගම සේකරයන් දුටු ඇත්ත

අද සමාජයේ මේ සිදුවන නාඩගම වසර ගණනාවකට පෙර මහගම සේකරයන් ඔහුගේ ‘ප්‍රබුද්ධ’ කාව්‍යයෙන් පේළි කිහිපයකට කැටි කළේ මෙහෙමයි:

“දේශප්‍රේමයේ නාමයෙන්…

ආගමෙහි නාමයෙන්…

මුදල මුදලම සොයති…

මිනිස්කම පාවා දෙති…”

අවසාන වශයෙන් කියන්න තියෙන්නේ:

එදා මිස්සක පව්වේ හිටපු මුවා අපේ රට වනචාරී දඩයම් යුගයෙන් මුදාගත්තා. හැබැයි අද ඉන්න වංචනිකයෝ රට, ආගම, ජනතාව සහ ක්‍රිකට් වැනි උතුම් දේවලට මුවා වෙලා, මේ රට ආපහු පස්සට – ඒ කියන්නේ අඳුරු, පරාධීන දඩයම් යුගයකටම ඇද දමමින් ඉන්නවා. අපිට තවදුරටත් මේ “මුවාවන්” දෙස බලා රැවටෙන්නට වෙලාවක් නැත!

Share.
Leave A Reply