රට තුළ පවතින ආර්ථික පීඩනය හමුවේ පෞද්ගලික අංශයේ රෝහල් රැසක විශේෂඥ වෛද්‍ය චැනල් ගාස්තු (Channeling Fees) මේ වන විට රුපියල් 6,000 සීමාවද ඉක්මවා ගොස් ඇති බව වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානයේ සභාපති විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා පවසයි.
මෙම අසාධාරණ මිල ඉහළ යාම හේතුවෙන් වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීමට පැමිණෙන සාමාන්‍ය මහජනතාව දැඩි ලෙස පීඩාවට පත්ව ඇතැයි ඒ මහතා අවධාරණය කළේ ය.
රජයේ රෝහල්වල පවතින විවිධ අඩුපාඩු හේතුවෙන්, නිසි වේලාවට ප්‍රතිකාර ලබා ගැනීමට නොහැකිව පෞද්ගලික රෝහල් වෙත යොමුවන ග්‍රාමීය හා අර්ධ නාගරික අසරණ ජනතාව මෙම තත්ත්වය හමුවේ සෞඛ්‍ය සේවාවන් ලබාගත නොහැකිව දැඩි අර්බුදයකට ලක්ව ඇති බවද ඔහු කීය.
ගාස්තු ඉහළ යාමට හේතු කිහිපයක් ඇති බවද ඔහු කීය.
වෘත්තිකයන් මත පනවා ඇති අධික බදු බර සහ සෘජු/වක්‍ර බදු,පෞද්ගලික රෝහල් සේවාවලින් රජය අය කරන අධික බදු මුදල්,මෑතකාලීනව ඉහළ ගිය විදුලි බිල සහ ඉන්ධන මිල,පාරිභෝගික භාණ්ඩ හා සේවාවල මිල ගණන් සීඝ්‍රයෙන් ඉහළ යාම යි.
චැනල් ගාස්තුවලට අමතරව පෞද්ගලික අංශයේ නේවාසික වෛද්‍ය ප්‍රතිකාර ගාස්තු, ඖෂධ මිල, ශල්‍යකර්ම සහ ශල්‍ය උපකරණ ගාස්තුද මේ වන විට සාමාන්‍ය මිනිසෙකුට දරාගත නොහැකි මට්ටමට ඉහළ ගොස් ඇත.
මේ නිසා සාමාන්‍ය ජනතාව දැඩි අපහසුතාවකට ලක්ව සිටින බවත් පෞද්ගලික අංශයේ වෛද්‍ය සේවා නියාමනය කිරීම සෞඛ්‍ය අමාත්‍යාංශයේ සෘජු වගකීමක්. නමුත් අද වන විට එම පාලනය සහ නියාමනය සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් සම්පූර්ණයෙන්ම ගිලිහී ගොස් තිබෙනවා යැයි විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා කීය.
පෞද්ගලික සෞඛ්‍ය ක්ෂේත්‍රය මාෆියාවක් බවට පත්වීමට ඉඩ නොතබා, සිදුවන මෙම ගාස්තු සූරාකෑම වහාම පාලනය කිරීමට රජය සහ සෞඛ්‍ය බලධාරීන් මැදිහත් විය යුතු බව සිවිල් සංවිධාන සහ වෛද්‍ය වෘත්තීය සමිති අවධාරණය කර සිටී.

